“යෞවනය දඟකාරයි, හිතුවක්කාරයි, ආවේගශීලීයි” ඒ බොහෝ වැඩිහිටියන්ගේ චෝදනාවක්. ඒත් යෞවන යෞවනියන් එහෙම වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න බොහෝ දෙනා උත්සාහ කරන්නේ නැහැ. යෞවනයට පා තැබූ තමන්ගේ ආදරණීය දුව, පුතා ඉස්සර වගේ තමන්ට කීකරු නෑ කියලා කනස්සල්ලෙන් ඉන්න මව්පියන් පවා දරුවා එහෙම වුණේ ඇයි කියල…
“යෞවනය දඟකාරයි, හිතුවක්කාරයි, ආවේගශීලීයි” ඒ බොහෝ වැඩිහිටියන්ගේ චෝදනාවක්. ඒත් යෞවන යෞවනියන් එහෙම වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න බොහෝ දෙනා උත්සාහ කරන්නේ නැහැ. යෞවනයට පා තැබූ තමන්ගේ ආදරණීය දුව, පුතා ඉස්සර වගේ තමන්ට කීකරු නෑ කියලා කනස්සල්ලෙන් ඉන්න මව්පියන් පවා දරුවා එහෙම වුණේ ඇයි කියලා හිතලා බලන්න පෙලඹෙන්නේ හරිම අඩුවෙන්.
හැම මවක් පියෙකුම සිහින දකින්නේ තමන්ගේ දරුවා අධ්‍යාපනයෙන් ඉහළටම ගිහින් හොඳ රැකියාවක් කරනවා දකින්න. විෂය කරුණුවලින් මනස පුරවා ගත්තට දරුවාගේ හදවතේ සහ ආධ්‍යත්මයේ හිස්තැනක් තියෙනවා කියලා හුඟක් මවුපියන්ට වැටහෙන්නෙ නැහැ. නැත්නම් ඒ දේ වැටහෙනකොට දරුවා ජීවිතේ අතරමං වෙලා. නිවැරැදි කරගන්න බැරි වැරදි ගොඩක් සිදු වෙලා.
විභාග ඉලක්ක කරගත් පොතපතේ දැනුමෙන් විතරක් දරුවෙක් යහපත් පුරවැසියකු කරන්න බැහැ. ඔහුගේ දැනුම, ආකල්ප සහ කුසලතා ද සංවර්ධනය විය යුතුයි. දරුවකුගේ ජීවිතයේ තීරණාත්මක අවධීන් වන්නේ මවුකුසයේ සිට පළමු වසර හත සහ තුන්වැනි වසර හත එනම්, 14-21 දක්වා කාලයයි. දරුවාගේ ජීවිතය සාර්ථක වීමට සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගිය පූර්ණ අධ්‍යාපනයක් සහ පෞරුෂ සංවර්ධනයක් අත්‍යවශ්‍යයි. පාසල තුළින් ඉටු නොවන ඒ කාර්යය ඉටු කරගැනීමට දරුවාට ඔහුගේ මනසට නිදහසක් දැනෙන හදවත සහ ආධ්‍යත්මය අවදි කරන පරිසරයක් අවශ්‍යයි.
ජීවිතය වෙනස් කරන සුබෝධිය
ස්ව අවබෝධය දෙන තැන හෙවත් ‘සුබෝධි’ ආයතනය කියන්නේ පූර්ණ අධ්‍යාපන ආයතනයක්. කොළඹ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි, පිළියන්දල වෑවල කොස්පැලෑන පාලම ඉදිරියෙන් පිහිටි සුබෝධි මාවතේ කෙටි දුරක් ගිය විට ඔබට සුබෝධියට පිවිසිය හැකියි. දුටු පමණින්ම ඔබේ සිතත් ගතත් වසඟ කරවන හරි අපූරු සුන්දරත්වයකින් යුත් සුබෝධි ආයතනය ස්වාභාව ධර්මයාගේ සොඳුරුම තිළිණයක් කිවහොත් නිවැරැදියි. බැලූ බැලූ අත හරිත පැහැයෙන් දිදුලන සුබෝධිය පිහිටා තිබෙන්නේ බොල්ගොඩ වැවේ එක් ඉවුරකයි. එහි අනෙක් ඉවුරේ පිහිටා ඇත්තේ දැයට විද්වතුන් බිහිකරන මොරටුව විශ්වවිද්‍යාලයයි. අක්කර 13ක පමණ භූමියක පිහිටා ඇති මනස්කාන්ත ‘සුබෝධි’ ආයතනයේ හතළිස් පස් වසරක ඉතිහාසය ගැන අප එහි අධ්‍යක්ෂ ගරු ලෝරන්ස් රාමනායක පියතුමාගෙන් විමසුවා.
“කොළඹ අගරදගුරු පදවියට අයත් සුබෝධිය, පූර්ණ අධ්‍යාපන සහ පුද්ගල සංවර්ධන මධ්‍යස්ථානයක්. මෙහි නිර්මාතෘ ස්වර්ගස්ථ ආචාර්ය ගරු මර්වින් ප්‍රනාන්දු පියතුමා. එතුමා අභ්‍යවකාශ විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව පිළිබඳ විශාරදයෙක්. සෞන්දර්ය, සිංහල භාෂාව සංස්කෘතිය ගැන මනා නිපුණතාවක් ඇල්මක් තිබූ එතුමා ආතර් සී ක්ලාක්, ජෙෆ්රි බාවා වැනි විද්වතුන් රැසකගේ සමකාලීනයෙක්. මර්වින් පියතුමා අපේ රටේ නව යොවුන් දරුවන්ගේ සංවර්ධනයට බාධා කරන අධ්‍යාපන ක්‍රමයේ ඇති රික්තක හොඳින් හඳුනාගෙන ඔවුන්ගේ මානසික සංවර්ධනය වෙනුවෙන් මෙවැනි ආයතනයක් ආරම්භ කිරීමට අදහස් කර තිබෙනවා. ඒ සඳහා මර්වින් පියතුමා සුබෝධි හෙවත් “ස්වයං අවබෝධය දෙන තැන” යන අදහස නිරූපණය වන ලෙස මෙම ස්ථානය ගොඩනැඟීමට භාර දී තිබෙන්නේ එවකට ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු මෙන්ම පියතුමාගේ ද මිතුරකු වූ ජෙෆ්රි බාවා මහතාටයි. ඔහුගේ අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පීය දැනුමත් මර්වින් පියතුමා සතු මනෝ විද්‍යාව සහ ආධ්‍යත්මිකත්වය පිළිබඳ සංකල්පත් එකට එක්කරමින් නිර්මාණය කළ මේ ස්ථානය සාමාන්‍ය ඉදිකිරීමක් පමණක් නොව, අධ්‍යාපනයට ගැඹුරු අර්ථයක් සහ වටිනාකම් රැසක් එකතු කරන තෝතැන්නක්. වර්ෂ 1981 අප්‍රේල් මාසයේදී ‘සුබෝධි’ නමින් මෙම ආයතනය ආරම්භ කර ඇති අතර, මුල් කාලයේ මාසික පාඨමාලා ද පසුව දින හතේ නේවාසික පාඨමාලා ද පවත්වා තිබෙනවා. 2017 වසරේ මර්වින් පියතුමා ස්වර්ගස්ථ වූවත් එතුමා අපේක්ෂා කළ අරමුණ එදා මෙන්ම අදත් හෙටත් මතුවටත් මෙම ආයතනයෙන් ඉටුවනවා. මානසික සහ ආධ්‍යාත්මික වර්ධනය, තරුණ නායකත්ව පුහුණුව, මනෝවිද්‍යාත්මක සහ ජීවන අධ්‍යාපනය, භාවනා, යෝගා, නේවාසික වැඩමුළු පවත්වන ආයතනයක් ලෙසට ක්‍රියාත්මක වන සුබෝධිය විශේෂයෙන්ම නව යොවුන් දරුවන් සහ යෞවන යෞවනියන්ගේ මානසික, පෞරුෂ සහ නායකත්ව සංවර්ධන සඳහා විශේෂ වැඩසටහන් පවත්වනු ලබනවා.”
පාසල් දරුවන් සහ යොවුන් දරුවන් ඉලක්ක කරගත් එම වැඩසටහන් මොනවාදැයි අප වැඩිදුරටත් විමසුවා.
‘වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන් ද ඉතා අවිවේකීයි. ඒ නිසාම ඔවුන් ආතතියට පත්වනවා. ඒ නිසා බොහෝ දරුවන් පසුවන්නේ කනස්සල්ලෙන් සහ වික්ෂිප්ත භාවයෙන්. එය ඔවුන්ගේ මානසික කායික සුවතාවයට විශාල බාධාවක්. දරුවන් සතුටින් නොවේ නම් ඔවුන්ගේ මවුපියන්ට ද සතුටක් නැහැ. මවුපියන් සහ දරුවන් අසතුටින් සිටිද්දී ඒ පවුල තුළ බැඳීම් දියාරු වනවා. එවැනි පවුලකින් රටට වැඩදායී පුරවැසියන් බිහි වන්නේ නැහැ. ඒ නිසා දරුවන්ගේ මානසික සුවතාව ඉතා වැදගත්. ඊට බාධා කරන්නේ දරුවාගේ මනස සහ හදවතත් ආධ්‍යත්මයත් අතර ඇති හිස්කමයි. සුබෝධි නිර්මාතෘ පියතුමා සුබෝධිය ආරම්භ කළේ විශේෂයෙන්ම නව යෞවනයන්ට සහ තරුණ තරුණියන්ට ඔවුන්ගේ අභ්‍යන්තරයේ ඇති හිස්බව පුරවා ගැනීමට අවශ්‍ය අවබෝධය ලබාදීමටයි. පිටතින් ලැබෙන දැනුම සහ ඇතුළතින් ලැබෙන ප්‍රඥාව ඊට මඟ පාදනවා. ඒ අනුව සුබෝධියේ එක්දින සහ ජීවිතයේ රහස් හතක් පිළිබඳ කියාදෙන දින තුනේ නේවාසික වැඩසටහන් පැවැත්වෙනවා. ඊට අමතරව නායකත්ව හා පෞරුෂ සංවර්ධන වැඩසටහන්, විශේෂ යෝග සහ භාවනා ආදී මනස සන්සුන් කරන වැඩසටහන් මෙන්ම උපදේශන සේවාවන් ද පවත්වනු ලබනවා.”
අඳුර අතරින් සහන් එළියක්
එදින අගනුවර ප්‍රසිද්ධ පිරිමි පාසලක ශිෂ්‍ය නායකයන් කණ්ඩායමක් දින තුනේ නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගි වෙමින් සිටි අතර, සිකුරාදා දිනෙක පස්වරුවේ එහි පැමිණි සිටි ඔවුන්ගේ වැඩසටහන අවසන් වීමට නියමිතව තිබුණේ ඉරිදා පස්වරුවේය. දරුවන් ඉතා ක්‍රියාශීලීව සතුටින් එහි පැවැත්වෙන විවිධ ක්‍රියාකාරකම් සහ දේශන සඳහා සභභාගි වන අයුරු අප දුටුවා. දරුවන් මෙවැනි නේවාසික වැඩසටහන්වලට සම්බන්ධ කරගැනීමේදී ඇතිවන අභියෝග සහ ඉන් පසු ඔවුන් දක්වන ප්‍රතිචාර ගැනත් අප පියතුමාගෙන් විමසුවා.
“මෙම වැඩසටහනට සහභාගි වන දින තුනේදී දරුවන්ට තමන්ගේ ජංගම දුරකථන භාවිත කිරීමට අවසර නැහැ. හදිසි අවශ්‍යතාවක් සඳහා මවුපියන් ඇමතීමට පමණක් තමා සමග පැමිණ සිටින ගුරුවරයාගේ දුරකථනය භාවිත කළ හැකියි. ඒ බව දැනුම් දුන් විට තමන්ට නැවත නිවෙසට යෑමට අවශ්‍ය බව කියමින් මැසිවිලි නඟන දරුවන් දෙතුන් දෙනකු හැම කණ්ඩායමකදීම අපට හමුවෙනවා. නමුත් දින තුන අවසානයේදී ඒ දරුවන්ම අපට කියනවා, ජීවිතේ පළමු වරට ජංගම දුරකථනය භාවිත නොකර සිටි මේ දවස් තුන තමා ඉතා සැහැල්ලුවෙන් සතුටින් ගත කළ බව. ඒ වගේම හැම කණ්ඩායමකදීම නිරීක්ෂණය වන පොදු කරුණක් තමයි, දරුවන් මෙහි ගෙන්වා ගැනීමට වඩා අපිට අමාරු වෙන්නේ වැඩසටහන අවසන් වෙලා ඔවුන් මෙහෙන් පිටත්කර යවන එකයි. අවසාන දවසේ බොහෝ දරුවන් අපිට කියන්නේ සුබෝධිය දාලා යන්න දුකයි කියලා. ඒ තරම් සතුටක්, නිදහසක් මේ වැඩසටහන් නිසා දරුවන් ලබනවා.
“ජීවිත රහස් හතක්” වැඩසටහන තුළදී ඔවුන් අලුත් පුද්ගලයන් බවට පරිවර්තනය වී ඇති ආකාරය අපි දකිනවා. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ තමාට තමා පිළිබඳ අවබෝධය ලබාගැනීමට අවස්ථාව සැලසීමයි. ජංගම දුරකථනය ඇතුළු බාහිර සමාජයෙන් ඈත්වී ගෙවන දින තුනේදී අපි විවිධාකාරයෙන් ඒ සඳහා දරුවා මෙහෙයවනවා. උදාහරණයක් විදියට එක කාමරයක දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. අපි හිතමු එක දරුවකුට කළුවරේ නිදාගන්න බැහැ, ඔහුට ලයිට් එක තියෙන්නම ඕන. තව දරුවකුට විදුලි පංකාව දැම්මොත් පීනස හැදෙනවා. නමුත් අනිත් දරුවාට විදුලි පංකාව නැතිව නින්ද යන්නෙ නැහැ. එහෙම වුණාම තමන්ගේ අවශ්‍යතා කැප කරගෙන, අනුන්ගෙ අදහස්වලට, කැමැත්තට ගරු කරන්නෙ කොහොමද කියලා වටහා ගන්න සහ එවැනි අවස්ථාවක් කළමනාකරණය කරගන්නේ කොහොමද කියන අවබෝධය ඇතිවෙනවා. සහකම්නය, අන් අය සමග බෙදාගැනීමට, පරිත්‍යාගශීලී වීමට හුරුවක් වගේම හැම දරුවකුටම නායකත්වයේ වගකීම් දරන්නන් මේ ක්‍රියාකාරකම් මගින් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමා එකිනෙකාගෙන් වෙනස් අද්විතීය පුද්ගලයෙක් කියලා තේරුම් ගන්න ඒ දින තුන තුළ සිදු කරන ක්‍රියාකාරකම් මගින් අවස්ථාව ලැබෙනවා.”
“මම කවුද? මගේ අරමුණු, ඉලක්ක, රුචිඅරුචිකම් මොනවද?. මගේ ශරීරයේ අඩුපාඩු, දුර්වලතා මොනවද? මගේ විශේෂ කුසලතා, හැකියාවන්, වටිනාකම් මොනවද? ඒවාට සමාජය ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද? ඒ ප්‍රතිචාරවලට මම මුහුණ දෙන්නේ කොහොමද කියලා තමා ගැන හරි දැක්මක් ඇතිකර ගන්න හැම දරුවකුටම වෙන වෙනම අවස්ථාව ලැබෙනවා. ඕනෑම පුද්ගලයෙක් ඒ විදිහට තමාව හරිහැටි හඳුනාගැනීම ඔහුගේ කායික මානසික නීරෝගිභාවයට අත්‍යවශ්‍යයි. ඒ හඳුනා ගැනීම නිසා තමන්ගේ ජීවිතවල ඇති වූ වෙනස ගැන දරුවන් ඉතා අවංකව අප සමග කතා කරනවා. ඔවුන් මෙතැනින් යන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ අවුල් වූ, පැටලුණු ජීවිත වෙනස් කරගෙන. ඒවා හරිම ආශීර්වාදාත්මක සිදුවීම්.” අදියුරු පියතුමා කී එවදන් කොතරම් සත්‍යයක් දැයි දරුවන් කිහිප දෙනකු අප සමග පැවසූ වදන්වලින් හෙළි වුණා.
ආලෝකයේ සාක්ෂි
අංජන සමරසේකර (වයස අවු. 17යි)- “මෙතුවක් කල් මම මම කවුද කියලා හරියට දැනගෙන හිටියෙ නැහැ. ඒත් සුබෝධිය මට මාවම දකින්න අවස්ථාවක් හදලා දුන්නා. ඒක නිකම් හරියට එළියෙ ඉඳන් මම මං දිහා බැලුවා වගේ. මගේ ඇතුලේ තියෙන වැරදි අඩුපාඩු වගේම මගේ හොඳත් මම දැක්කා. ස්වයං අවබෝධය කියන දේ ඒ තරමටම මට දැනුණා.”
ගයාන් චාමිකර (වයස අවු. 17යි)- “ගෙදර ඉන්නකොට මම ඇඳෙන් නැඟිටලා යනවා මිසක් ඇඳ හදන්නෙ නැහැ. මම හිතන්නෙ මගේ ඇඳ හදන්නේ අම්මා හරි ලොකු අක්කා. මම ඒකවත් හරියටම දන්නෙ නැහැ. ඒත් මෙහෙ හිටපු දවස් තුනේ මට ඒක කරන්න වුණා. මාත් එක්ක කාමරේ හිටිය අනිත් දෙන්නාම ඇඳ හදලා යද්දි මටත් මගේ ඇඳ අස් කරන්න වුණා. පළවැනි දවසෙ මම ඒක කළේ නොකර බැරිකමට. ඒත් දෙවැනි, තුන්වැනි දවසේ මම ඒක ආසාවෙන්ම කළා. මේ අවුරුදු 17ටම මම එහෙම කළාමයි. ඒත් දැන් මම දන්නවා මීට පස්සේ කවදාවත් මට ඒක නොකර ඉන්න බැරි වෙනවා.”
මලිත් ජයසේකර (වයස අවුරුදු 18යි)” මම බෞද්ධයෙක්. ඉස්කෝලෙන් මෙහෙම වැඩසටහනකට එක්ක යනවා කිව්වම මට හිතාගන්න බැරිවුණා මේක කොහොම වෙයිද කියලා. ඒත් මෙතැන අපිට ආගම ඉගැන්නුවේ නැහැ. ජීවිතය කියලා දුන්නා විතරයි. තරුණයෙක් විදිහට මම මෙච්චර කල් ගෑනු ළමයි දිහා බැලුවේ වැරදි විදිහට. එයාලා ගැන ගරුත්වයක් මට දැනුණේ නැහැ. අපේ වචනයෙන් කියනවා නම් ගෑනු ළමයි ඉන්නේ අපේ විනෝදය සඳහා කියලයි මම හිතුවේ. ඒත් ලිංගිකත්වය ගැන ආදරය ගැන මෙහෙදි කියලා දුන්න දේවල්වලින් මගේ ඒ අදහස් වෙනස් වුණා. මට මං ගැනම ලැජ්ජා හිතුණා. ආදරය ලිංගිකත්වය කියන්නේ කොයිතරම් ලස්සන, වටිනා හැඟීම්ද කියලා මම දැන් දන්නවා. මීට පස්සේ කවදාවත් ගෑනු ළමයෙක් දිහා නරක විදිහට හිතන්න පෙළඹෙන්නේ නෑ කියලා මම මටම පොරොන්දු වුණා.”
අශේන් වික්‍රමසේකර (වයස අවුරුදු 16යි)” මම පවුලේ එකම දරුවා. අම්මා, තාත්තා හැම තිස්සෙම මං ගැන හොයන එක මට මහා වදයක් වෙලා තිබුණේ. මම මේ වැඩසටහනට ආවෙත් දවස් තුනක් එයාලගේ කරච්චලෙන් බේරිලා ඉන්නයි. ඒත් මම කොයිතරම් වැරදිද කියලා මට තේරෙන්නෙ දැන්. මවුකුසේ ඉන්න කාලේ ඉඳන් අම්මා, තාත්තා මං වෙනුවෙන් මොන තරම් දේවල් කළාද කියලා මම දැන් දන්නවා. එයාලා ගැන කවදාවත් නොදැනුණු තරම් ආදරයක් දැන් මට දැනෙනවා. අම්මයි තාත්තයි මං ගැන දකින හැම හීනයක්ම සැබෑ කරනවා කියන අධිෂ්ඨානය මට ලැබුණේ සුබෝධිය නිසයි.”
මිහිරාන් ප්‍රනාන්දු (වයස අවු 16යි)” මෙච්චරකල් ගෙදරදි කවදාවත් කරපු නැති තරම් වැඩ කළා. තේ බීපු කෝප්පෙ කාපු පිඟාන හේදුවේ සෑහෙන කාලෙකින්. කාපු තැන අස් කරන්න, කාමරේ අතුගාන්න මේ හැමදේම කළා. වෙනදා වගේ ගෙදර අය කියනවට නෙවෙයි ආසාවෙන් ආදරෙන් ඒ දේවල් කළේ. ජීවිතේට අමතක නොවන දවස් තුනක් මේක.”
දරුවන්ගේ එම ධනාත්මක ප්‍රතිචාර සාක්ෂි දරන්නේ සුබෝධියේ වැඩටහන්වල සාර්ථකත්වය ගැනයි. 2025/26 වසර තුළ බස්නාහිර පළාතේ පාසල් ළමුන් 3700කට වඩා මෙම වැඩසටහන්වලට සහභාගි වී ඇති බව ලෝරන්ස් රාමනායක පියතුමා පැවසුවා. වැඩසටහන අවසානයේදී ගුරුවරුන් සහ මවුපියන්ගෙන් දරුවන් පිළිබඳ ඇගයීමක් ලබා ගන්නා අතර, වැඩසටහනට සභභාගි වී සිටි මවක් ඒ ගැන අපට මෙසේ අදහස් දැක්වුවා.
“මේ වැඩසටහනට එනකොට අපටත් ඒ ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් දැන් හිතෙනවා මේ වැඩසටහනට දරුවා එක්ක එන්න ප්‍රමාද වුණ එක අපරාදේ කියලා. දරුවො මෙහෙදි කරපු ක්‍රියාකාරකම් අපි දැක්කා. එයාලා කොයිතරම් සතුටින් හිටියද කියලා අපි දැක්කා. අපේ දරුවො හිරවෙලා හිටියෙ කොතැනද කියලා අපිටත් අවබෝධයක් ලැබුණා. ඒ ගැන හරිම සතුටුයි. හැකි හැම වෙලාවකදිම මේ වගේ වැඩසටහන්වලට දරුවො යොමු කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි කියලා හිතෙනවා.”
ඇයගේ අදහස ගුරු මවක් ද සනාථ කළා.
“පාසලේදී අපට තියෙන ප්‍රධාන ඉලක්කය විෂය නිර්දේශය ආවරණය කිරීම. ඒ සීමිත කාලය තුළ අපට දරුවන්ගේ ස්වාභාවය හඳුනගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති තරම්. මම හිතන්නේ ඒ රික්තකය පුරවන්න මෙවැනි වැඩසටහන් හොඳ අවස්ථාවක්. පාසල් විෂය නිර්දේශය තුළට මෙවැනි වැඩසටහන් ඇතුළත් වීම කාලීන අවශ්‍යතාවක් විදිහට මම දකිනවා”
ඉකුත් හතළිස් පස් වසර තුළ ඒ ආකාරයට පුද්ගලයන් රැසකගේ ජීවිත වෙනස් කළ සුබෝධිය, පාසල් දරුවන්ට, යරෑවනයන්ට පමණක් නොව රජයේ සහ පෞද්ගලික අංශයේ පුද්ගලයන් සඳහා නායකත්ව කුසලතා සහ පෞරුෂ සංවර්ධන වැඩසටහන්, ජීවිත අධ්‍යයන වැඩසටහන්, ආයතනික වැඩසටහන් සහ උපදේශන සේවා පවත්වනු ලබනවා. ඒ සඳහා සහභාගි වීමට කිසිදු ජාති, ආගම් භේදයක් නැති බව සුබෝධියේ පාඨමාලා සම්බන්ධිකාරක ගරු මෙරිල් ගුණවර්ධන පියතුමා පැවසුවා. 120 දෙනකුට පමණ ප්‍රමාණවත් කාමර පහසුකම්, 350කට පමණ අසුන්ගත හැකි ශ්‍රවනාගාරයක්, යාබද නාන කාමර සමඟ තිදෙනකුට නවාතැන් ගත හැකි කාමර 10 කින්ද සමන්විත සුබෝධිය, ජීවිත වෙනසකට කැමති සැමට ඒ අපූර්වතම අත්දැකීම විඳගන්නට ඇරයුම් කරයි.
සටහන සහ ඡායාරූප –ඉන්දික ජාසිංආරච්චි

