1970-1990 අතර කාලයේ මෙරට දරුවන් 14000 කට ආසන්න සංඛ්‍යාවක් රට පටවලා යොදාගත් ලිපි ලේඛන බොහෝමයක ඇත්තේ වැරදි තොරතුරු ප්‍රංශය සොයන ළමයින් 18න් 17 කොටම වෛද්‍ය සහතික නිකුත් කොට ඇත්තේ එකම වෛද්‍යවරයෙක් සැඳෑ අහස දෙස අරමුණකින් තොරව බලා සිටින ඇයගෙන් එක් වරම කවුරුන් හෝ පැමිණ නමක් සහ ලිපිනයක්…
1970-1990 අතර කාලයේ මෙරට දරුවන් 14000 කට ආසන්න සංඛ්‍යාවක් රට පටවලා
යොදාගත් ලිපි ලේඛන බොහෝමයක ඇත්තේ වැරදි තොරතුරු
ප්‍රංශය සොයන ළමයින් 18න් 17 කොටම වෛද්‍ය සහතික නිකුත් කොට ඇත්තේ එකම වෛද්‍යවරයෙක්
සැඳෑ අහස දෙස අරමුණකින් තොරව බලා සිටින ඇයගෙන් එක් වරම කවුරුන් හෝ පැමිණ නමක් සහ ලිපිනයක් පෙන්වා කිසිවකු පිළිබඳ විමසනු ලැබීය. ඒ විදෙස් ජාතික තරුණයකු සහ හොඳින් හැඳ පැළඳ ටයිකෝඩ් දැමූ මෙරට පුද්ගලයෙකි. ඔවුන් පෙන්නූ ලිපිනය ටක්කෙටම නිවැරදිය. නමුත් එහි සඳහන් නම වැරදිය. ඔවුන් විමසුවේ මීට වසර 44 කට පෙර විදෙස් රටකට හදා වඩා ගන්නට දුන් දියණියකගේ මවක් පිළිබඳ විස්තරය. ඇය සහ ඔහුගේ පුතු එක් වරම කීවේ “ලිපිනය නම් හරි. ඒත් එහෙම නමක් තියෙන කෙනෙක් මෙහේ නෑ” යනුවෙනි. ඇත්තම කතාව නම් එම පුද්ගලයන් පැමිණ තිබුණේ හරිම ලිපිනයටය. ඔවුන්ට මුණගැසුනේ හරිම කෙනාවය. නමුත් එය කටක් ඇර කියන්නට තරම් ඇයට ධෛර්යයක් නොවූවාය. එක්වරම ඇයව වසර 44ක් අතීතයට ගෙන ගියාය. මාස නවයක් තම කුස තුළ දරාගෙන සිට මෙලොවට බිහි බිහි කළ තම සිඟිති දියණිය සිහිවී ඇයටත් හොරා ඇසෙන් කඳුලක් කඩා පැන්නත් එය පුතුට නොපෙනෙන්නට ඇය වසන් කර ගත්තාය.
අලුත් වුණු මතකයෙන් වධ විඳින අනුලාවතී
ඇය නමින් අනුලාවතී යැයි කියමු (සැබෑ නම නොව) ගම අනුරාධපුරයෙනුත් තවත් කිලෝමීටර් විස්සක් තිහක් ඇතුළට වන්නටය. හරියටම මීට 44 වසරකට පෙර ඇය රැකියාවක් සොයා කටුනායක ඇඟලුම් කර්මාන්ත ශාලාවකට පැමිණි ගමනේදී වංචනික පෙම්වතෙකුගේ මුසා බසට රැවටී අවසානයේ නතර වන්නේ දරුගැබකුත් සමග තනිවූ යුවතියක විලසිනි. ඇයට තිබුණු එකම පිහිට වූයේ ඇය සේවය කළ ආයතනයේ යෙහෙළියකගේ පිහිට පමණි. එම යෙහෙළියගේ උදව් උපකාර ඇතිව සිය ගම්බිම් ප්‍රදේශවලට මෙන්ම මව් දෙමව්පියන්ට හොර රහසේ සිය කුළුඳුල් දරුවා ප්‍රසූත කළ ඇයගේ එකම අපේක්ෂාව වූයේ සිය දරුවා කාට හෝ හදා වඩා ගැනීමට දීම පමණි. අවසානයේ අකැමැත්තෙන් වුවත් එම තීරණයට ඇය එළැඹියාය.
ඇය යෙහෙළියගේ සහ ඇයගේ පෙම්වතාගේ උපදෙස් හා මග පෙන්වීම මත සිය කුසින් වැදූ කිරි කැටි දියණියගේ අනාගතය හෝ යහපත් වේ යැයි සිතා විදේශීය පවුලකට භාර දුන්නේ වෙන කරන්නට දෙයක් නැතිම තැනය. අදටත් ඇය ඒ ගැන සිය දහස් වාරයක් පසුතැවෙන්නේය.
එම සිදුවීමෙන් පසු ජීවිතය අලුතින් ඇරඹූ අනුලාවතී දැන් දෙදරු මවකි. විශ්‍රාමික හමුදා නිලධාරියෙකුගේ බිරිඳකි. ඇගේ හද තුළ කැකෑරෙන දුක කියන්නට කෙනෙක් නැත. දැන් ඇයගේ එකම ආශාව මියැදෙන්නට පෙර එක්වරක් කෝ එම දියණියගේ මුහුණ දැකීමය. නමුත් එම ආශාව ඉෂ්ට කර ගැනීමට නොහැකි වී ඇත්තේ සිය යටගියාව කිසිවකුත් නොදන්නා බැවිනි. දැන් ඒ ගැන කාටවත් කියන්නත් බැරිය. කීවෝතින් ඇය සමාජය ඉදිරියේ නරක ගැහැනියක් වනු නොඅනුමානය.
එම සිදුවීමෙන් පසු තනිවන හැම මොහොතකම ඇයට සිතෙන්නේ මීට වසර 44 කට පෙර පැය කිහිපයකට ඇයගේ ළය මත හුරතල් වූ දරුවා දකින්නට ඇතිනම් මොනතරම් අගේද කියාය.
ඇය ගෘහණියකි. ගෙදරින් එළියට බසිනවානම් බසින්නේ කඩපිලට යෑමට පමණි. අනෙක් පැත්තෙන් ඇගේ දැන් වයස අවුරුදු හැත්තෑවකට ආසන්නය. තොරතුරු විමසන්නට තනිවම කොළඹ යා නොහැක. එකල ඇයට උදව් උපකාර කළා යෙහෙළියද දැන් නැත. ඇය සතුව ලිපි ලේඛන කිසිවක්ද නැත. ඇය සිය අතීතය වළ දමා දැන් බොහෝ කල්ය. එය වළ දැම්මේ යළි කිසිදා ගොඩ නොගන්නා අරමුණිනි. නමුත් මේ හදිසි අමුත්තන්ගේ පැමිණීමත් සමඟ ඇය දෙලොවක් අතර තනිවී තිබේ. මේ වංචනික පෙම්වතෙකුගේ මුසා බසට රැවටී සිය කුළුඳුල් දරුවා විදෙස් යුවළකට දීම හේතුවෙන් කඳුළු බොන එක් මවකි.
පරිස්සමට තිබූ දෙය ඈලියාවට යයි
කලවානට ආසන්න ගම් ප්‍රදේශයක ජීවත්වන මල්කාන්තිගේ කතාව ඊට වෙනස්ය. සිය තෙවන දරුවා හදාවඩා ගන්නට දෙන්නේ පැවති අගහිඟකම් හමුවේ තවත් දරුවකුගේ වියදම් දරන්නට අපහසු බැවිනි. ඒ සිය ස්වාමියාගේ බලකිරීම හමුවේය. වැලේ ගෙඩි වැලට බර නැහැ කියන්නාක් මෙන් ඇය කිසිම අවස්ථාවක සිය දරුවා වෙනත් යුවළකට හදා වඩා ගන්නට දෙන්නට කැමති වූයේ නැත. නමුත් සිය ස්වාමියාගේ බලකිරීම හමුවේ ඇයට වෙනත් විකල්පයක් නොවීය. ඇය යම් තරමකින් හෝ අස්වැසිල්ලක් ලැබූයේ තරමක් දුරට දන්නා හඳුනන යුවළකට තම දරුවා ලබා දුන් බැවිනි. අපට නැතත් මේ කොල්ලා හරි ඒ නෝනලා ගාව හොඳට කාලා බීලා ජීවත් වේවි යන බලාපොරොත්තුව ඇයගේ සිත තුළ තිබිණි. එසේම ඇයගේ සිත තුළ පැවති බිය දුරු කෙරූ තවත් කාරණයක් වූයේ එම යුවළටත් තම දරුවාට වඩා දෙවසරකින් වැඩිමහල් දියණියක සිටීම නිසාය. ඔවුන් කීවේ තම බිරිඳට යළි දරුවන් බිහිකළ නොහැකි බැවින් දියණියගේ පාළුවට මෙම දරුවා තමන් හදා වඩා ගන්නා බවත්ය.
එහෙත් සැබවින්ම සිදුවූයේ ඇය සිහිනයෙන් හෝ නොසිතූ දෙයකි. පරිස්සමට තිබූ දෙය ඈලියාවට ගියා බඳු වැඩකි. සිය දරුවා හදා වඩා ගත් එම යුවළ දින ගිහිපයකට පසුව නගරයේ පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව තිබිණි. පසුව කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ තම දරුවා විදෙස් ජාතික යුවළකට විකුණා ඔවුන්ද සිය ගම්බිම් සියල්ල හැරදා නෙදර්ලන්තයට ගොස් ඇති බවය. දැන් මෙම සිදුවීමට වසර තිස් අටකි. තම දරුවා නොදැක ඇය ගෙවන්නේ අපා දුකකි. ගෙවෙන හැම මොහොතකම ඇය සිය ස්වාමියාට දොස් පවරන්නේ සිය දරුවා තමන් සමඟ සිටියා නම් වේලක් හැර වේලක් කා සතුටින් ජීවත් වන බව කියමිනි. ඇය සිය ස්වාමියා සමඟ අඬදබර කරගත් අවස්ථා අනන්තය අප්‍රමාණය.
බිරිඳගෙන් එල්ලවන දැඩි පීඩනය හමුවේ ස්වාමියා විටින් විට ඒ පිළිබඳව සොයා බැලුවත් වැඩිදුර තොරතුරක් සොයා බලන්නට ඔවුන්ට මිල මුදල් නැත. රජයේ කාර්යාල වල ටැක් ගැහෙන්නට තරම් දැනුමක් තේරුමක් නැත. රජයේ කාර්යාලයකින් මීට වසර තිහ හතළිහකට පෙර ලිපි ලේඛන සොයන්නට නම් කීයක් හරි අත මිට මෙලෙවිය යුතුමයි. ඔවුන් අදටත් ජීවත් වන්නේ කිතුල් මැදීමෙනි. එහෙව් තත්ත්වයක් යටතේ ඒ වෙනුවෙන් වියදම් කරන්නට මිල මුදල් නැත. ඔහු යම් තරමකින් හෝ කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ ඔවුන් සිය දරුවාගේ උප්පැන්නයේ සඳහන් නමින් විදෙස්ගතව නැති බවය. ඒ වෙනුවෙන් වෙනම නම් ගම් ඇතුළත් කර හොර උප්පැන්න සහතික මෙන්ම විදෙස් ගමන් බලපත්‍රයද සකසා ඇත.
තම කුසින් බිහි කළ දරුවකුගේ වෙන්වීම හොඳින්ම දැනෙන්නේ මවටය. යම් යම් අවස්ථාවල එල්ලවන බලපෑම් හමුවේ හදිසි තීන්දු තීරණ ගත්තත් නිස්කලංකයේ සිටින හැම මොහොතකම දැනෙන්නේ තමන් සිය දරුවාට ලොකු වැරැද්දක් කළාය යන හැඟීමය. ඇය අප හා පැවසුවේ ඇතැම් අවස්ථාවල රූපවාහිනියෙන් පෙන්වනවා මෙන් තම දරුවා කොයි මොහොතක හෝ තමන් සොයා පැමිණේවි යන බලාපොරොත්තුවෙන් සිටින බවය.
“මගේ අම්මා තාත්තා කවුද?” වසර හතළිහකට පසුත් පිළිතුරු සොයන අනුෂාගේ නිහඬ වේදනාව
“මාව බිහි කළ අම්මා තවමත් ජීවතුන් අතරද? මගේ තාත්තා කවුද? මට සහෝදර සහෝදරියන් ඉන්නවාද?”
මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු නොලැබුණු ජීවිතයක් ගත කරමින්, උපන් බිමට සැතපුම් දහස් ගණනක් ඈතින් සිටින “අනුෂා ද සිල්වා” හෙවත් විදේශීය ලේඛනවල “ඇනා සිල්වා” අදත් තමන්ගේ සැබෑ දෙමව්පියන් සොයා යන නිමාවක් නොපෙනෙන ගමනක නිරතව සිටින්නීය.
දශක හතරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ උපත ලැබූ ඇය, ඉතා කුඩා වියේදී විදෙස් ජාතික යුවළකට හදා වඩා ගැනීම සඳහා ලබාදී තිබුණේ නිසි ක්‍රියාපටිපාටියකින් නොව, ව්‍යාජ සහතික හා වැරදි තොරතුරු මත බව ඇය දැනගත්තේ ජීවිතයේ පසුකාලීන අවධියේදීය.
විදේශීය මව්පියන්ගේ ආදරයෙන් හා රැකවරණයෙන් හැදී වැඩුණු ඇයට කිසිදා ආදරයේ අඩුවක් නොතිබුණද, “මම කවුද?” යන ප්‍රශ්නයට නිසි පිළිතුරක් සොයා ගැනීමට නොහැකි වීම ඇගේ හදවත තුළ සදාකාලික හිස්තැනක් බවට පත්ව තිබේ.
උපන් දිනය සඳහන් සහතිකයක් තිබුණද, එහි සඳහන් කරුණු බොහෝමයක් වැරදි බව පසුව අනාවරණය වී තිබේ. උපන් ස්ථානය නිවැරදි නොවීම, මව්පියන්ගේ නම් වෙනස් කර තිබීම, ලේඛන කිහිපයක දින වකවානු පවා නොගැළපීම හේතුවෙන් තමන්ගේ සැබෑ අනන්‍යතාව සොයා යාම ඇයට අතිශය දුෂ්කර කාර්යයක් වී ඇත.
වර්තමානයේ විවාහ වී දරුවන් දෙදෙනකුගේ මවක් වන අනුෂා, තම දරුවන් දෙස බලන සෑම අවස්ථාවකදීම තමා බිහි කළ මව ගැන සිහිපත් කරයි.
“මම මගේ දරුවන් බදාගෙන ඉන්නකොට මට මතක් වෙන්නේ මාවත් කවදා හරි අම්මා කෙනෙක් මේ විදිහට තුරුළු කරගෙන ඉන්න ඇති කියලා. ඇයට මාව අමතක වෙලා නැතුව ඇති. සමහරවිට අදත් මාව මතක් කරලා අඬනවා ඇති…” යැයි ඇය සංවේගයෙන් පවසන්නීය.
ඇගේ අතේ ඇති එකම සොඳුරු සම්පත වන්නේ කහ පැහැයට හැරුණු පැරණි ලේඛන කිහිපයක් සහ කුඩා කලදී ලබාගත් ඡායාරූප කිහිපයක් පමණි. ඒවායේ සැඟවුණු රහස් අතරින් තම ජීවිතයේ අහිමි වූ කොටස සොයා ගැනීමේ අරමුණින් ඇය වසර ගණනාවක් පුරා විවිධ ආයතන හා පුද්ගලයන් සම්බන්ධ කරගෙන ඇතත්, තවමත් ස්ථිර පිළිතුරක් ලැබී නැත.
කෙසේ වෙතත්, ඇය බලාපොරොත්තු අත්හැර නැත.
“මගේ අම්මා ජීවතුන් අතර නැතිවෙලා තිබුණත්, ඇගේ සොහොන ළඟට ගිහින් මල් පොකුරක් තියලා ‘අම්මේ, මම ආවා’ කියලා කියන්නවත් මට ඕන. මගේ තාත්තා කවුද කියලා දැනගන්නත් මට අයිතියක් තියෙනවා,” යැයි ඇය පවසන්නීය.
අනුෂාගේ එකම ප්‍රාර්ථනාව වන්නේ, ජීවිතය අවසන් වීමට පෙර එක් වරක් හෝ තමන් බිහි කළ මවගේ මුහුණ දැක ගැනීමය.
ඇය තවමත් බලා සිටින්නීය…
මෙම කතා තුන තුළම ඇත්තේ එක්තරා කාලයක විවිධ පුද්ගලයන් සිදුකළ වංචනික ක්‍රියා හේතුවෙන් මව් සෙනෙහස අහිමි වූ දරුවන් පිළිබඳ මෙන්ම දරු දුකින් පෙළෙන මව්වරුන් පිළිබඳවයි.
අද වන විට ලංකාව ළමා හා කාන්තා අයිතිවාසිකම් අතින් ඉහළ තැනක තිබුණත් මීට දශක දෙක තුනකට පෙර තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. තිස් අවුරුදු යුද්ධය, තරුණ නැගිටීම මෙන්ම ජනවර්ග අතර කලකෝලාහල නිමක් නොවීය. එයිනුත් වැඩිම බලපෑම එල්ලවූයේ කාන්තාවන්ට හා ළමා පරපුරටය. එසේම මෙරට ඇඟලුම් කර්මාන්තය ආරම්භයත් සමග ගමින් නගරයට ආ තරුණියන් වැඩි දෙනෙක් සල්ලිකාර පවුල්වල තරුණයන්ගේ සහ බෝධිසත්ව ලීලාවෙන් ආ අනංගයන්ගේ මුසා බසට රැවටී අනාථ වූහ.
1970 ත් 1990 දශකයේ මුල් භාගයත් අතර කාලය තුළ මෙරට දරුවන් 11000-14000කට අධික ප්‍රමාණයක් විදෙස් රටවලට දරුකමට හදා වඩා ගන්නට (කුලවැද්දවීමට) ගෙන ගොස් ඇති බව සවිස්තරාත්මක ලේඛනාගාර සංඛ්‍යා ලේඛන වාර්තා කරයි. සමාජ ආර්ථික ප්‍රශ්න මෙන්ම පියවරුන් නොමැතිව මව්වරුන් බිහිකළ දරුවන් බහුතරයක්ම විදෙස් රටවලට යවා ඇත්තේ එම මවුපියන්ටත් හොර රහසේය. සමහර පවුල්වල දරුවන් හත් අට දෙනකි. එවැනි අවස්ථාවල දරුවන් පෝෂණය කිරීමේ පැවති අපහසුතාවයත් සමග සිය කැමැත්තෙන්ම විදෙස් ජාතිකයන්ට දරුවන් ලබාදුන් අවස්ථාද ඇත. ඒ ඔවුන්ගෙන් ලැබුණු තෑගි බෝග හා මිල මුදල් හමුවේය.
මෙරට දරුවන් වැඩි වශයෙන්ම ගෙන ගොස් ඇත්තේ ප්‍රංශය, නෙදර්ලන්තය, ස්විස්ටර්ලන්තය, බෙල්ජියම සහ ජර්මනිය යන රට වලටය. මේ කටයුත්ත සිදුව ඇත්තේම නීති විරෝධීව සකස් කළ ලිපි ලේඛන ආශ්‍රයෙනි. ඒ වෙනුවෙන්ම හොර ලිපි ලේඛන සැකසීමට වෙනම කණ්ඩායමක් සිටි බව ගල්කිස්ස ප්‍රදේශයේ කිහිපදෙනෙක්ම අප සමග පැවසූහ. රෝහලේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව දක්වා රාජ්‍ය නිලධාරීන්ද මෙම ජාවාරමේ විසල් වැඩ කොටසක් සිදුකර ඇත. එසේ නොමැතිව මේ කටයුත්ත කෙලෙසවත් සිදු කළ නොහැක.
1982-1986 අතර කාලය මෙම ජාවාරමේ ස්වර්ණමය අවධිය ය. නෙදර්ලන්තයේ joustra වාර්තාව සහ ස්විස්ටර්ලන්තයේ Zhaw වාර්තාව පෙන්වා දෙන ආකාරයට මේ කාලය තුළ ශ්‍රී ලාංකික ළමයි වැඩි වශයෙන්ම එම රටවලට ගෙන ගොස් ඇත්තේ මෙරට මෙන්ම එම රටවලද නීතියේ පැවති අඩු ලුහුඩුකම් හේතුවෙනි.
1982-1988 අතර කාලය තුළ පමණක් මෙරටින් නෙදර්ලන්තයට ගෙනගිය කිරිකැටියන් සංඛ්‍යාව 2001 කි. 1986 වර්ෂයේදී පමණක් ළමයින් 565ක් 1984 වර්ෂයේදී 460ක් සහ 1985 වර්ෂයේදී 537 දෙනකු වශයෙන් මෙරටින් විවිධ ක්‍රමවලට අපේ දරුවන් ගෙන ගොස් තිබේ.
මීට වසර තිහ හතළිහකට පෙර මෙරටින් විදෙස් රටවලට ගෙනගිය දරුවන් දැන් යළි සිය උපන් ගම් බිම් සොයා, සැබෑ මව් දෙමව්පියන් සොයා පැමිණීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මොනතරම් සැප සම්පත්, පහසුකම් තිබුණත් තමන්ගේ සැබෑ මූලයන් සොයා යෑමට බල කරන අවස්ථාවක් පැමිණෙයි. නමුත් මේ හැම කෙනෙකුටම ඇති එකම බාධාව වන්නේ තම අක්මුල් සොයා යෑමට තරම් නිවැරදි තොරතුරු නොමැති වීමය. පවතින ලිපි ලේඛන බොහෝමයක් ව්‍යාජය. මෙම ජාවාරමට ව්‍යාජ උප්පැන්න සහතික සකස් කොට ඇත්තේ රෝහල්වලින් සොරා ගත් උප්පැන්න සහතික ලියන ලේඛන පොත් උපයෝගි කරගෙනය.
ඉල්ලීම් ඉදිරිපත් කළත් තොරතුරු ලබාදීමට ඉල්ලුම්කරුම පැමිණිය යුතුය. එසේම මේ සඳහා විශ්වාසවන්ත සංවිධානයක් හෝ ආයතනයක් නොමැත. ඇතැමුන් කරන්නේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීමය. තවත් පිරිසක් කරන්නේ ඔවුන් සතු දේ කඩා වඩා ගැනීමය.
මේ අතර පසුගියදා අපට දශක ගණනාවක් පුරාවට වෙන්වීම විඳදරාගත් ශ්‍රී ලාංකික මව්වරුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන සමාජ සේවා ආයතනයක් පිළිබඳ දැනගන්නට ලැබිණි. එමගින් කිසිදු මුදල් අය කිරීමකින් තොරව ජාත්‍යන්තරව දරුකමට හදාගත් පුද්ගලයන්ට ඔවුන්ගේ ජීව විද්‍යාත්මක මූලයන් සමග සම්බන්ධ වීමට අවස්ථාව සලසා දේ. සර්ව් සමාජ සේවා ආයතනය එවැන්නකි. 1999 වසරේදී පිහිටුවන එය 2000 වසරේදී මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන ලද අතර පසුව ශ්‍රී ලංකා සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ස්වෙච්ඡා හා සමාජ සේවා ජාතික මට්ටමේ රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් ලියාපදිංචි කර ඇත. එසේම එය ලාභ නොලබන සංවිධානයකි.
2020 වසරේදී සවිස්තරාත්මක ඇගැයීමකින් පසුව නිල වශයෙන් ජාත්‍යන්තර සමාජ සේවා (ISS) ජාලයට සම්බන්ධ වූ අතර ISS සංවිධානය සෑම වසරකම ගෝලීය වශයෙන් වෙන් වූ පුද්ගලයන් 75000 කට සහාය වේ. ප්‍රංශ රජය මගින් සර්ව් සමාජ සේවා ආයතනයට මෙරටින් ප්‍රංශයට ගෙනගිය දරුවන් 18 දෙනකු පිළිබඳ සොයාබලා ඔවුන්ගේ සැබෑ දෙමව්පියන් සොයා දීමේ වගකීම පවරා තිබේ. එය කිසිවකුගේ පෞද්ගලිකත්වයට හානියක් නොවන ආකාරයෙන් ආරක්‍ෂතව සහ රහසිගතව ක්‍රියාත්මක වේ.
සර්ව් සමාජ සේවා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සංජීව ද මැල් ඔවුන් වෙත ලැබුණු වගකීම පිළිබඳ විස්තර කළේ මෙලෙසිනි.
“අපේ සමාජ සේවා ආයතනයට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇති ප්‍රංශ තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් ප්‍රංශයේ අන්තර්ජාතික සමාජ සේවා ආයතනයේ ඉල්ලීම පරිදි දැනට ශ්‍රී ලංකාවෙන් ප්‍රංශයට හදා වඩා ගැනීමට දුන් 18 දෙනකුගේ තොරතුරු ලබා දී තිබෙනවා. මේ දිනවල අපි ඔවුන් පිළිබඳ සෙවීම් කටයුතු සිදු කරනවා.”
දරුවන් හොරපාරෙන් ගෙනගිය හැටි
සර්ව් සමාජ සේවා ආයතනයට ප්‍රංශයෙන් සොයා බලන්නට ලබා දුන් මවුපියවරුන් 18 දෙනාගෙන් දෙදෙනකු මේ වන විටත් සොයාගෙන අවසන්ය. දැන් ඉතිරිව ඇත්තේ ඩීඑන්ඒ පරීක්ෂාව මගින් ඔවුන් තහවුරු කර ගැනීම පමණි. එහිදී වැදගත් කරුණු රැසක් අනාවරණය විණි. එයින් කියාපාන්නේ මොනතරම් වංචාකාරී ක්‍රියා පිළිවෙතක් එකල අනුගමනය කර තිබේද යන්නයි. එම ළමයින් 18 දෙනාගෙන් 78%ක්ම ගැහැණු දරුවන්ය. එසේම මෙම සිදුවීම් 18න් 72% කටම සම්බන්ධ වන්නේ කොළඹ දිස්ත්‍රික්කය ය. පුදුමය දනවන කරුණ වන්නේ සිදුවීම් 18න් 84% කට එකම නීතිඥවරයෙකු වගකිව යුතු වීමය. මෙහිදී ප්‍රධාන තැරැව්කරු ලෙස කටයුතු කොට ඇත්තේ ඔහුය. එම නීතිඥයා මේ වන විට ජීවතුන් අතර නැත. නමුත් ඔහු සැකසූ දිවුරුම් ප්‍රකාශ තවමත් ඇත. එයින් බොහෝමයක හැඳුනුම්පත් අංක සටහන්ව නැත. තිබුනත් ඇත්තේ වැරදි අංකයකි.
එසේම දරුවකු හදා වඩා ගැනීමට දීමේදී උසාවියට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. මෙම සිදුවීම් 18න් එකකට හැර අනෙක් සියල්ලටම වෛද්‍ය සහතික නිකුත් කර ඇත්තේ එකම වෛද්‍යවරයෙකි. ජාවාරමේ තරම එයින්ම වටහා ගත හැකිය.
බිය නොවී ඉදිරිපත්වෙන්න
ඔබ තවමත් වසර ගණනාවකට පෙර තම රැකවරණයෙන් ගිලිහුණු දුව පුතා ගැන සිතමින් පසුතැවෙනව මවක්, පියෙක් හෝ සහෝදරයෙක් විය හැක. එසේ නම් ඒ ගැන සර්ව් සමාජ සේවා ආයතනයට කිව හැක. මාධ්‍ය සංදර්ශනවලින් තොරව ලෝකය ඉදිරියේ ඔබ තවත් අපහසුතාවට පත් නොකර සර්ව් සමාජ සේවා ආයතනය ඔබගේ පෞද්ගලිකතත්වයට කිසිදු හානියක් සිදු නොවන අයුරින් ඔබෙන් අත අතහැරුණු දුව පුතා සොයාගැනීමට උදව් කරනු ඇත.
සර්ව් සමාජ සේවා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සංජීව ද මැල් කියන්නේ එම පවුල්වල කැමැත්තකින් තොරව කිසිදු කටයුත්තක් සිදු නොවන බවය.
“අපට ලැබුණ තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරන අතර ඔවුන්ගේ චරිතයට හෝ ප්‍රතිරූපයට කිසිදු කැළලක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරනවා. ඒ වගේම ඔවුන්ගේ කැමැත්තක් පවතීනම් පමණක් ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකික දරුවන්ට තොරතුරු ලබාදීමට කටයුතු කරනවා. දුරකතන අංක
+94 701 242 242 අංකයට කතා කිරීමෙනුත් soyamulk@gmail.com වෙබ් අඩවියට පිවිසීමෙනුත් තොරතුරු ලබා ගත හැකිය.
මේ කිසිවකුත් මුදලට ගිජු වූවා මිස කුඩා දරු සිඟිත්තකු වැදූ මවගෙන් වෙන්කර වෙනත් අයෙක් ළඟට යෑමට සිදුවීමෙන් ඇතිවන මානසික කම්පනය පිළිබඳ නිකමටවත් සිතා බැලුවාදැයි සැක සහිතය. මව් කුසින් වැදු දරු පැටියා උණු උණුවේම මවගෙන් වෙන් කිරීමෙන් ඇය පත්වන කායික මෙන්ම මානසික පීඩාව පිළිබඳව මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් නිකමටවත් සිතුවාද.
එකල ළමයින් රට පැටවීමේ ජාවාරම පිටුපස දේශපාලන හස්තයක්ද ක්‍රියාත්මක වූ බව කියති. දැන් ඒ කතාවලින් වැඩක් නැතැන් කළ යුතුව ඇත්තේ තවමත් ජීවතුන් අතර සිටින මව්වරුන් කිහිපදෙනාට හෝ තමයි කුසින් වැදූ දරුවන්ගේ මුහුණ බැලීමට ඉඩකඩ සැලසීම පමණි.
සමීර කන්නන්ගර

