ස්වර්ණ ශ්‍රී බණ්ඩාර පිළිබඳව ලිපියක් ලියූ සුනිල් මිහිඳුකුල, එහි මැය වශයෙන් යෙදුවේ “විකාරරූපී නාට්‍යයට ඇලුම් කළ වෙද මහත්තයා” යන්නය. ආයුර්වේද වෛද්‍යවරයකු වුවත්, ස්වර්ණ ශ්‍රී වඩාත් ප්‍රකට වූයේ ගීත රචකයකු හා ගුවන්විදුලි මාධ්‍යකරුවකු වශයෙනි. ඊට අමතරව, සැමුවෙල් බෙකට්ගේ “එන්ඩ් ගේම්” [EN…
ස්වර්ණ ශ්‍රී බණ්ඩාර පිළිබඳව ලිපියක් ලියූ සුනිල් මිහිඳුකුල, එහි මැය වශයෙන් යෙදුවේ “විකාරරූපී නාට්‍යයට ඇලුම් කළ වෙද මහත්තයා” යන්නය.
ආයුර්වේද වෛද්‍යවරයකු වුවත්, ස්වර්ණ ශ්‍රී වඩාත් ප්‍රකට වූයේ ගීත රචකයකු හා ගුවන්විදුලි මාධ්‍යකරුවකු වශයෙනි. ඊට අමතරව, සැමුවෙල් බෙකට්ගේ “එන්ඩ් ගේම්” [END GAME] නාට්‍යය, ‘පරපුටුවෝ’ මැයින් පරිවර්තනය කිරීමෙන්, සිංහල නාට්‍ය ක්ෂේත්‍රයට ද පිවිසුණෝය.
ස්වර්ණ ශ්‍රී පිළිබඳව පළ කිරීමට නියමිත ඇගැයුම් ලිපි එකතුවක් සඳහා ලිපියක් ලිවීමට මට ද ඇරැයුමක් ලැබුණේය. “පරපුටු යැයි පරිවර්තනය නැවත වරක් කියැවීමි.”
මෙහිදී මගේ අවධානයට ලක්වූ කරුණක් වූයේ, ස්වර්ණ ශ්‍රී පමණක් නොව, “ගොඩෝ එනකල්” නාට්‍යය පරිවර්තනය කළ සුගතපාල ද සිල්වා පවා, මෙම නාට්‍යය දෙස බෞද්ධ දර්ශනවාදි දෘෂ්ටියකින් විවරණ සැපයීමට උත්සාහ කළ බවකි. මෙතැන කිසියම් පටලැවිල්ලක් ඇති බව පෙනේ.
විකාරරූපී රංගයට මුල් වූයේ, දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසු, යුරෝපයේ කලාකරුවන් අතර මතුවූ, ජීවිතයේ අරුත කුමක්ද යන කාරණයයි. ඔවුනට බෞද්ධ දර්ශනය ගැන ගැඹුරු දැනුමක් නොවීය. එසේම, ඔවූහු දෙවියන් පවා ප්‍රතික්ෂේප කළහ. මිනිසා ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වන දෙවි කෙනකු කුමට ද යන පැනය ඔවුන් තුළ විය. බෞද්ධ චින්තනයෙන් හික්මුණු, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර වැන්නකු බෙකට්ගේ නාට්‍යය දෙස, තම දෘෂ්ටි කෝණයෙන් බලා අර්ථකථනය කිරීම, කොතෙක් දුරට සාධාරණ දැයි විචාරකයන් සතු කාර්යයකි.
…………………………..
මචාඩෝගේ කවිය
මා දන්නා මචාඩෝ ලා දෙදෙනෙකි. එක් අයෙක්, මැල්කම් මචාඩෝ ය. ඔහු නීතිඥයෙකි. දක්ෂ නළුවෙකි. නෙරූඩාගේ ලංකා දිවිය ඇසුරින් හඳගම නිර්මාණය කළ “අල්බොරෝදා” චිත්‍රපටයේදී මැල්කම් මචාඩෝ, අගනා රංගනයක් කළේය.
අනෙකා අන්තෝනියෝ මචාඩෝ ය.
ඔහු ලෝක ප්‍රකට ස්පාඤ්ඤ කවියෙකි. ස්පාඤ්ඤ සිවිල් යුද සමයේදී, ගර්සියා ලෝකා මරා දැමීම පිළිබඳව බලවත් කම්පාවට පත්, මචාඩෝ, ‘ෆෙදරීකෝ’ මැයින් ලියූ කව, අදත්, ලොව විවිධ භාෂාවන්ට පෙරැළෙයි.
ෆැසිස්ට්වාදීන්ගේ තර්ජනයන්ට මුහුණ දෙන මචාඩෝ, තම සොහොයුරකු සමග ප්‍රංශයට පලා යෑමට තීරණය කරයි. ඔවුන් ගමන් කළේ ප්‍රංශයත්, ස්පාඤ්ඤයත් අතර වූ කඳුවැටියක් හරහා පාගමනිනි. ඉන් දින කීපයකට පසු, ඔහු හෘදයාබාධයකින් මියගියේය.
ඉන්ද්‍රාණි රත්නසේකර, ස්පාඤ්ඤ බසින්ම සිංහලට නැගූ, මචාඩෝගේ කවියකින් කොටසකි මේ.
“…. අඩක් ගෙවිලා දිවි මගේ අදමොහොතකට නැවතී සිටින්නෙමිභාවනාවට පිවිසි අයුරින්
තුරුණු විය මගෙ කවමදාවත්ගෙවා නැතිවා සේ දැනේ මටකාව සිහිනෙන් දකින්නට දෝවසන්තය, ඔබ යළිදු එන්නේ
(වසන්තය)ත්‍රිරෝද කවි
නාට්‍ය නිෂ්පාදක, ප්‍රියංකර ද සිල්වාට, අමුතු විනෝදාංශයක් ඇත. ඔහු, ත්‍රිරෝද රථ පිටුපස ලියා ඇති නානාප්‍රකාර කියමන්, කවි හා ගී පද තම දුරකථන කැමරාවට හසුකර ගනී. ඉන්පසු, මුහුණු පොතට ද යොමු කරයි.
මේ, පසුගිය දිනෙක ඔහු දුටු, එබඳු අපූරු ත්‍රිරෝද කවියකි.
මට මං වෙන්න මේ හොඳටම ඇතිමට ඌ වෙන්න තව ටිකක් මදිඒ ටික වෙන්න ජීවිත කාලයම මදිඒ හින්දා මට මේ හොඳටෝම ඇති
……………………
ජනප්‍රිය නළුවෝ
‘කෙස්පියන්වරු’ නමැති වට්ස්ඇප් සමූහයට ධර්මජිත් පුනර්ජීව විසින් එක්කළ සටහනක සඳහන් වූ අන්දමට, සනත් ගුණතිලකයන්ගේ මතය වන්නේ , ‘ජනප්‍රිය නළුවකු වීමට වඩා වැදගත් වන්නේ දක්ෂ නළුවකු වීම’ය. රන්ජන් රාමනායකගේ අදහස් වන්නේ දක්ෂ නළුවකු වීමට වඩා ජනප්‍රිය නළුවකු වීම වටිනා බවයි.
ඒ අදහස් කියැවූ මට මෙසේ සිතුණි.
ජනප්‍රිය නළුවකු වීම ද එක්තරා දක්‍ෂකමකි. සෑම ජනප්‍රිය නළුවකුම දක්ෂ නොවන්නා සේම, සෑම දක්ෂ නළුවකුම ජනප්‍රිය වන්නේ ද නැත. මෙහිදී ප්‍රේක්ෂකයා ද වර්ගීකරණය වෙයි.
විජය කුමාරණතුංග ඉතා ජනප්‍රිය නළුවෙකි. “පාර දිගේ” හා “බඹරු ඇවිත්” චිත්‍රපටවලදී ඔහු තමා දක්ෂ නළුවකු බව ද සනාථ කළේය. සනත් ගුණතිලක ද ජනප්‍රිය නළුවෙකි. “විරාගය” ඔහු දක්ෂ නළුවකු බව පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, ඒ දෙදෙනාම පිටුපස දක්ෂ අධ්‍යක්‍ෂවරුන් දෙදෙනකු ද සිටි බව සඳහන් කරනුයේ, ඔවුන්ගේ කැපවීම අවතක්සේරු නොකරමිනි.
කපිල කුමාර කාලිංග

