දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේ අද සවස සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණ වෙමින් තිබෙනවා. මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවයි මුලින් කියවුණේ. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට කවිඳු මදුසං…

දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේ අද සවස සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු  අනාවරණ වෙමින් තිබෙනවා. මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවයි මුලින් කියවුණේ. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට කවිඳු මදුසංක නොහොත් සැන්ඩෝ නමැත්තාගේ පියා බවට දැන් තොරතුරු ලැබෙනවා. සැන්ඩෝ නමැත්තා සහ ඔහුට හිතවත් බව කියන බඩෝවිට අසංක සමග කාලයක් තිස්සේ ගැටුම්වල පැටලී සිටින්නේ කොස් මල්ලී පාර්ශ්වයයි. ඒ අනුව එම පාර්ශවය විසින් වෙඩි තැබීම මෙහෙයවා ඇතැයි සැක කෙරෙනවා. තුවාල ලැබූ පුද්ගලයා 56 වන වියේ පසු වන්නකු වන  දෙහිවල ඕබන්සයිඩ් ධීවර නිවාස වල පදිංචිව සිටින්නෙක්. ඔහු සුසාන භූමිය තුළ කිසියම් කටයුත්තක නිරතව සිට පසුව අවමංගල්‍යය සඳහා පාංශුකූලය ලබාදෙන ස්ථානයට පැමිණ සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර ඇති බවයි මූලික ප්‍රකාශ වලින් කියවී ඇත්තේ. වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් බවට ද තොරතුරු ලැබී තිබෙනවා. මෙම යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදිය සුසාන භූමියෙන් පිටත නවතා හෙල්මට් පැළඳගෙන පා ගමනින් සුසාන භූමිය තුළට මීටර් 20ක් පමණ පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති බවයි මූලික ප්‍රකාශක වලින් වැඩිදුරටත් කියවෙන්නේ. වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු ඔවුන් පයින්ම සුසාන භූමියෙන් පිටතට දුවගොස් යතුරුපැදියේ නැග පලා ගොස් තිබෙනවා. වෙඩි තැබීම සිදු කර ඇත්තේ මිලිමීටර් 9 ප්‍රමාණයේ ගිනි අවියක් බවටයි පොලිසිය සැක කරන්නේ. තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා. ඔහුගේ වම් අතට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවයි සිද්ධිය ආවරණය කළ නෙත් නිව්ස් නියෝජිතයා  පවසන්නේ. මේ අතර යතුරුපැදියකින් පලායාමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනකු ඉලක්ක කර ගනිමින් පොලිසිය අද පෙරවරුවේ වෙඩිතැබීමක් සිදු කළා. අද සිදුවූ මෙම වෙඩිතැබීම් දෙකත් සමග මෙම වසරේ මේ දක්වා සිදුව ඇති මුළු වෙඩිතැබීම් ගණන 20ක්. මෙම මාසයේදී පමණක් වෙඩි තැබීම 5ක් සිදුව තිබෙනවා. වසර තුල මේ දක්වා සිදුවූ වෙඩි තැබීම් වලින් මියගිය ගණන 13 දෙනෙක්. තවත් එකොළොස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.