බහරේන් සහ කුවේට්හි පිහිටි ඇමෙරිකානු ඉලක්ක වෙත අදත් ප්‍රහාර එල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා. ජෝර්දානයේ පිහිටි තවත් ඇමෙරිකානු හමුදා කඳවුරකට ද ප්‍රහාර එල්ල කළ බවයි ඔවුන් කියා සිටියේ. මෙම ප්‍රහාරයෙන් ඇමෙරිකානු මිසයිල ආරක්ෂක රේඩාර් පද්ධතියක් සහ එෆ්-15 වර්ගයේ යුද ග…

බහරේන් සහ කුවේට්හි පිහිටි ඇමෙරිකානු ඉලක්ක වෙත අදත් ප්‍රහාර එල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා. ජෝර්දානයේ පිහිටි තවත් ඇමෙරිකානු හමුදා කඳවුරකට ද ප්‍රහාර එල්ල කළ බවයි ඔවුන් කියා සිටියේ. මෙම ප්‍රහාරයෙන් ඇමෙරිකානු මිසයිල ආරක්ෂක රේඩාර් පද්ධතියක් සහ එෆ්-15 වර්ගයේ යුද ගුවන් යානයක් විනාශ වූ බවයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය වැඩිදුරටත් පැවසුවේ. කලාපයේ රේඩාර් ආවරණය අක්‍රිය කර, ඉදිරියේදී විශාල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට මඟ පාදා ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ වී තිබෙනවා. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ තෙල් නැව් දෙකක ද විශාල ගිනිගැනීම් සිදුව ඇති බවයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසන්නේ. හෝමූස් සමුද්‍ර සන්ධිය තවදුරටත් තම පාලනය පවතින බවද ඔවුන් අවධාරණය කළා. මේ අතර මැද පෙරදිග උත්සන්න වී තිබෙන මෙම යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට කුවේට් වෙත සිදුකෙරෙන සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මේ අතර පිට පිටම දසවන දිනටත් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කල බව අමෙරිකාව පවසනවා. ඉරානයේ සිරීක්, බන්දර් අබ්බාස්, කෙෂ්ම් දූපත, චාබහාර් සහ කොනාරක් යන ප්‍රදේශවලින් විශාල පිපුරුම් හඬ ශ්‍රවණය වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේ තිබියදී යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම සෞදි අරාබියට එරෙහිව නාවික බාධා කිරීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙමගින් ලෝක බලශක්ති සැපයුමට තවදුරටත් දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.