මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය ගැනීමට ගෝල් ගැලන්ටස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග පැවති එම තරගය ලකුණු 36 කින් ජය ගනිමින්. තරගය පැවැත්වුණේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය දිනූ ජැෆ්නා කණ්ඩායම පළමුවෙන් පන…

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය ගැනීමට ගෝල් ගැලන්ටස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග පැවති එම තරගය ලකුණු 36 කින් ජය ගනිමින්. තරගය පැවැත්වුණේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය දිනූ ජැෆ්නා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකිමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ගෝල් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 6ක් පමණක් දැවී ලකුණු 213 ක් ලබාගත්තා. එහිදී චරිත් අසලංක පන්දු 38කදී ලකුණු 65 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත්. සැමුවෙල් හාපර් ලකුණු 40 ක් සහ සහන් ආරච්චිගේ ලකුණු 35 ක් රැස් කළා. නායක දසුන් ශානක නොදැවී ලකුණු 31ක් රැස් කළේ පන්දු 9කදීයි. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 2 ක් ද ඇතුළත් වුණා. පන්දු යැවීමේදී පියුෂ් චව්ලා සහ ලිසාට් විලියම්ස් කඩුළු දෙක බැගින් බිද හෙළුවා. ජයග්‍රාහී ලකුණු 214ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 177 ක් පමණයි. දුනිත් වෙල්ලාලගේ පන්දු 24කදී ලකුණු 40 ක් රැස් කළා. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 34 ක් සහ චමිදු වික්‍රමසිංහ ලකුණු 24 ලබාගත්තා. පන්දු යැවීමේදී ඒෂාන් මාලිංග කඩුළු 4 ක් බිද හෙළුවා. ගෝල් ගැලන්ටස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 65 ක් රැස් කළ චරිත් අසලංක තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.