පානදුර, හිරණ ප්‍රදේශයේ නිවසක් වටලා ඊයේ සොයා ගත් කිලෝ ග්‍රෑම් 18කට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සහ ඔහු විසින් කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ගණනාවක් මේ වන විට අනාවරණ වෙමින් තිබෙනවා. සොයා ගත් මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපිය…
පානදුර, හිරණ ප්‍රදේශයේ නිවසක් වටලා ඊයේ සොයා ගත් කිලෝ ග්‍රෑම් 18කට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සහ ඔහු විසින් කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ගණනාවක් මේ වන විට අනාවරණ වෙමින් තිබෙනවා. සොයා ගත් මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටි විස්සක් පමණ බවටයි ඇස්තමේන්තු කර තිබෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල්වරයෙකුට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. මෙම වැටලීම සිදු කළේ පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින්. මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබුණේ වටලන ලද නිවසේ ප්‍රධාන දොරටුවට පිටතින් තිබෙන කාමරයක බෑග් දෙකක් තුළයි. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකේ තිබී නිවසේ යතුරු කැරැල්ල සොයාගෙන ඇති අතර ඒ යතුරු කැරැල්ල භාවිත කරමිනුයි වසා තිබූ කාමරයේ දොර විවෘත කර ඇත්තේ. මේ වන විට කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී සැකකරුගෙන් අනාවරණ වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය මේ වන විට විදෙස් ගතව සැඟව සිටින බවට සැක කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට සළිඳු මල්ශික ගුණරත්න නොහොත් කුඩු සළිඳු නමැත්තාට සහ පානදුර රන්දික යන අයට අයත් ඒවා බවයි. රටේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම සඳහා ඔවුන් තමන් වෙත මත්ද්‍රව්‍ය තොගය ලබාදුන් බවද අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රකාශ කර තිබෙනවා. මත්ද්‍රව්‍ය රැගෙන යාම සඳහා මෝටර් රථයක් පැමිණෙන බවට තමන් වෙත දැනුම් දීමක්ද ලැබී තිබුණු බවයි සැකකරු ප්‍රකාශ කර ඇත්තේ. එලෙස මෝටර් රථය පැමිණි විට ලබාදීම සඳහා මත්ද්‍රව්‍ය තොගය සූදානම් කර තිබුණු බවද ඔහු පවසා තිබෙනවා. මෙම සැකකරු මේ වන විට 26 වන වියේ පසු වන්නෙක්. ඔහු පානදුර හිරණ ප්‍රදේශයේ ජංගම දුරකථන උපාංග අලෙවිසලක් පවත්වාගෙන යන බවද එහෙත් ඊට මුවා වී මත්ද්‍රව්‍ය ජාවාරම කලක්තිස්සේ සිදු කර ඇතැයි ද තොරතුරු ලැබී තිබෙනවා.

