පුරාවස්තු සොයා අනවසරයෙන් කැණීම් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු ගල්ඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු බුද්ධශාසන හා ඉඩම් අමාත්‍යවරයෙකු වූ එම්. කේ. ඒ.ඩී. එස්. ගුණවර්ධන මහ…

පුරාවස්තු සොයා අනවසරයෙන් කැණීම් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු ගල්ඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු බුද්ධශාසන හා ඉඩම් අමාත්‍යවරයෙකු වූ එම්. කේ. ඒ.ඩී. එස්. ගුණවර්ධන මහතාගේ පුත්‍රයකු වන 50 හැවිරිදි නලින් මිල්ට්‍රෝවි ද ගුණවර්ධන නැමැත්තා ද වන බවයි පොලිසිය පැවසුවේ. අනෙක් සැකකරුවන් කන්තලේ, අලුත්ඔය සහ ඉපලෝගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා. හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ, අලුත්ඔය ‘යකා වංගුව‘ ආසන්නයේ පිහිටි ගෙවත්තක සැකකරුවන් මෙලෙස අනවසරයෙන් කැණීම් සිදුකරමින් සිටි බවයි පොලිසිය පැවසුවේ. පොලිස් නිලධාරීන් එම ස්ථානයට යනවිටත් සැකකරුවන් අඩි 8ක් පමණ ගැඹුරට කැණීම් කරමින් සිට තිබෙනවා. සැකකරුවන් සමඟ කැණීම් සඳහා යොදාගත් උදලු, යකඩ ඉනි සහ පූජා භාණ්ඩ ඇතුළු නඩු භාණ්ඩ රැසක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.