රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම අද ආරම්භ වනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්…

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම අද ආරම්භ වනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබෙනවා. එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා වන්නේ අගවිනිසුරුවරයායි. සෙසු සාමාජිකයින් වශයෙන් අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් වනවා. 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වූ අතර 22වන සංශෝධනයට සහය පල කරමින් ද පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වුණා. මේ අතර යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනාම අසුන්ගත යුතු බවට අද දිනයේදී සියළු පෙත්සම්කාර පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා පවසනවා. පෙත්සම් විභාගය ආරම්භයේදීම ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ. මෙම පෙත්සම් විභාගය සදහා පත්කර ඇත්තේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතීත්වයෙන් යුතු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 13 දෙනාම අසුන්ගත යුතු බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමගි ජන බලවේගය ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වයන් සිය පෙත්සම් මගින් ඉල්ලා තිබුණා.