ජනාධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක් ශිරාණි බණ්ඩාරනායක මැතිණිය ඉවත් කිරීම පාර්ලිමේන්තුවට කැළලක් රංජන්ගේ හඬපට අවධාරණය කළ දේශපාලන-විනිසුරු සම්බන්ධතා සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් ආන්දෝලනාත්මකය. දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට පවා ව්‍යවස්ථා සංශෝධනයන් කර ඇත. ගෝඨාභය රාජපක්ෂ…

ජනාධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

ශිරාණි බණ්ඩාරනායක මැතිණිය ඉවත් කිරීම පාර්ලිමේන්තුවට කැළලක්

රංජන්ගේ හඬපට අවධාරණය කළ දේශපාලන-විනිසුරු සම්බන්ධතා

සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් ආන්දෝලනාත්මකය. දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට පවා ව්‍යවස්ථා සංශෝධනයන් කර ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා/ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) 2020 ඔක්තෝම්බර් 29 දින සම්මත කරන ලද 20 වැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වූයේ විධායකය තවත් ශක්තිමත් කිරීමටය. එම ව්‍යවස්ථා සංශෝධනය දැඩි විවේචනයට ලක්විය. පොහොට්ටු පක්ෂය සහ ඊට සම්බන්ධ පිරිස් හැර කිසිවකු ඒ වෙනුවෙන් පෙනී සිටියේ නැත.නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු/විනිසුරුවරියන්ගේ විශ්‍රාමික වයස් සීමාවන් වැඩිකිරීම කිසිසේත්ම නොකළ යුතු බව අවධාරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මැයි 25, 2026 ලියූ ලිපියේ 20 වැනි සංශෝධනය පිළිබඳව සඳහන් කර තිබිණි. එම සංශෝධනය මගින් පිළිවෙළින් 12 ක් සහ 11 ක්ව තිබූ අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු/විනිසුරුවරියන්ගේ සංඛ්‍යාව 20 ක් සහ 17 ක් දක්වා වැඩිකර ඇති බව පෙන්වා දී තිබිණි. එනිසා විශ්‍රාමික වයස් සීමාවන් වැඩිකිරීම නොවන බව එම සංගමය පෙන්වා දී තිබිණි.

මෙම ලියුම්කරු දන්නා තරමට ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලිපියට පිළිතුරු සැපයුවේ නැත. නමුත් ජනාධිපතිවරයා පසුගිය ජුනි 25 දින අදාළ පත්වීම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය. ඒ පාර්ලිමේන්තුවේදීය.උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කර තිබූ දීර්ඝ පැහැදිලි කිරීම පදනම් කර තමන් සහ රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළේය. මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළුව සමස්ත අධිකරණ පද්ධතිය නිසියාකාරයෙන් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය සහ වගකීම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අධිකරණ පද්ධතිය තුළ අතිශය අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී තිබේ. ඊට හේතුවූ ප්‍රධාන කරුණු දෙකකි. ඉහළ අධිකරණයේ එනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු/විනිසුරුවරියන්ගේ විශ්‍රාමික වයස් සීමාව වැඩිකිරීමට ජාතික ජනබලවේගය (ජාජබ) ආණ්ඩුව කටයුතු කරමින් සිටීම එයින් එකකි. දෙවැනි කාරණාව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු දීර්ඝ කාලයක් පවත්වා ගෙන යෑමයි. එම තත්ත්වය අනපේක්ෂිතය. කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක. ජාජබ පොරොන්දු වූ පද්ධතිමය වෙනස නැතහොත් ක්‍රමවේදයේ වෙනස සමග කිසිසේත් නොගැළපේ.

අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක කර ඇති අතිශය ආන්දෝලනාත්මක වැඩපිළිවෙළ කිසිසේත්ම ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ ලෙස නම් කර තිබූ ජාජබ මැතිවරණ ප්‍රකාශයේ නීතිය සම්බන්ධයෙන් සඳහන් කර තිබූ කරුණු කාරණා/යෝජනා සමග සැසඳෙන්නේ නැත. ‘නීතිය මත පාලනයක්: සමප්‍රවෙශි අධිකරණ පද්ධතියක්’ යන ශීර්ෂය යටතේ ඉදිරිපත් කර තිබූ වැඩපිළිවෙළ මූලධර්ම තුනක් යටතේ ඉදිරිපත් කර තිබිණි: (i) සාධාරණව සහ සමානව නීතියේ රැකවරණය (ii) විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව සහ (iii) ස්වාධීනත්වය සහ ජනතා විශ්වාසය.

අධිකරණ පද්ධතිය පිළිබඳව ජනතා විශ්වාසය පළුදු වීම හානිකරය. එවැනි තත්ත්වයක් විධායකය-ව්‍යවස්ථාදායකය-අධිකරණය අතර සමතුලිතතාවය අවදානම් කලාපයට තල්ලු කරයි. පාර්ලිමේන්තුව තුළ එයින් පිටත දේශපාලනය අස්ථාවර කරයි. එබැවින් ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව වැඩිකිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු දීර්ඝ කාලයක් පවත්වා ගෙන යෑම ‘නීතිය මත පාලනයක්: සමප්‍රවෙශි අධිකරණ පද්ධතියක්’ යටතේ ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමග මොනයම්ම තත්ත්වයක් යටතේදිවත් ගැළපෙන්නේ නැත. ජාජබ ඉදිරිපත් කර ඇති මූලධර්ම තුනටම පටහැනිය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙළේ නීතිඥ සංසදයක් වන ‘Lawyers Collective’, කොළඹ මහාධිකරණයේ නීතිඥ සංගමය, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය සහ බදුල්ල නීතිඥ සංගමය ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව වැඩිකිරීමට එරෙහිව ප්‍රකාශ නිකුත් කර ඇත. පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය අනුමත කරමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත. නමුත් ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනවල ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු දීර්ඝ කාලයක් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් සඳහනක් කර නැත.

මෙම ලියුම්කරු උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් රජයේ ප්‍රකාශකයකුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව වැඩිකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවත් පැහැදිලි කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ අනෙකුත් නීතිඥ සංගම් දක්වා ඇති විරෝධතා නොසලකා ජාජබ ආණ්ඩුවට දේශපාලනික හෝ නොවන උපාය – මාර්ගික සැලසුමක් ක්‍රියාත්මක කළ නොහැක. අධිකරණය සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ දේශපාලනික සහ පෞද්ගලික වුවමනාවන් සපුරාලීම සඳහා නොවිය යුතු බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.

ජනාධිපතිවරණයේදී (2024 සැප්තැම්බර්) සහ මහ මැතිවරණයේදී (2024 නොවැම්බර්) ජාජබට ඡන්දය පාවිච්චි කළ අති බහුතරය වර්තමාන රජය ඊට පෙර ආණ්ඩු මෙන් කටයුතු කරාවි යැයි බලාපොරොත්තු වන්නේ නැත. රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන දේශපාලන කඳවුරු උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව කරනු ලබන ප්‍රකාශ ඔවුන් බලයේ සිටින විට අධිකරණය සම්බන්ධයෙන් කටයුතු කළ කුප්‍රකට සහ නින්දාසහගත ආකාරය අමතක කර සාකච්ඡා කළ නොහැක. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගයද (සජබ) 2020 වනතුරු එක්සත් ජාතික පක්ෂය (එජාප) නියෝජනය කළ බව සඳහන් කළ යුතුය. එම කිසිදු කඳවුරකට ඔවුන් අතීතයේ ගත් වැරදි තීන්දු තීරණවලින් ගැලවිය නොහැක. ජාජබ ද සිතා මතා අනවශ්‍ය අර්බුදකාරී තත්ත්වයක් අධිකරණය තුළ ඇති කර ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අවියක් ලෙස එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයට (එජනිස) කීකරු නොවූ අගවිනිසුරුවරියට එරෙහිව පාවිච්චි කළ පහත් ආකාරය රටට අමතක නැත. අගවිනිසුරුවරිය වූ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිණිය 2013 ජනවාරි මාසයේදී දෝෂාභියෝගයක් හරහා ඉවත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව අපවිත්‍ර විය. මන්ත්‍රීවරු 155 දෙනකු ඇයට එරෙහිව ඡන්දය පාවිච්චි කළ අතර දෝෂාභියෝගයට විරුද්ධ වූයේ මහජන නියෝජිතයන් 49 දෙනකු පමණි. විසිදෙනෙකු ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ පසුව 2010 පැවැත්වූ පළමුවන මහ මැතිවරණයේදී ආසන 144 ලබා ගත් එජනිස ඒ වසරේ 18 වෙනි සංශෝධනය ව්‍යවස්ථාවට එකතු කළේය. ඒ සැප්තැම්බර් මාසයේ 8 වෙනි දිනය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව සලසා ගැනීමටය. මන්ත්‍රීවරු 161 ඊට පක්ෂ වූ අතර 17ක් එරෙහි විය. විපක්ෂය සී සී කඩ වී තිබූ ඒ සමයේ එජනිස අධිකරණය තමන්ට අවශ්‍ය ආකාරයට හසුරුවා ගැනීමට උත්සුක විය. නමුත් ඊට ඉහළ උසාවිය නම්මා ගැනීමට දේශපාලන නායකත්වයට නොහැකි විය. අගවිනිසුරුවරිය ඉවත් කිරීමට විධායකය විසින් ව්‍යවස්ථාදායකය යොදා ගැනීමට සිදුවූයේ ඒ පසුබිමේය.

ඉහළ එජාප නායකත්වය යහපාලන සමයේදී (2015-2019) රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක හරහා අධිකරණයට කළ බලපෑම සුළුපටු නැත. රන්ජන් රාමනායක සහ එවක මහාධිකරණ විනිසුරුවරියක් වූ පද්මිණි රණවක අතර ඇතිවූ දුරකථන සංවාද, රාජ්‍ය අමාත්‍යවරයා සහ පොලිස් නිලධාරී ශානි අබේසේකර අතර වූ හෙළිදරව් කළ දුරකථන සංවාද මෙන්ම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඍජු සම්බන්ධතාවය අවධාරණය කළ අවාසනාවන්ත තත්ත්වය අද බොහෝ දෙනකුට අමතකය. එජාප රාජ්‍ය අමාත්‍යවරයා හරහා අධිකරණයට කළ අපහාස අමතක කළ නොහැක. දේශපාලන පක්ෂවලට සත්‍ය සහ යුක්තිය මතක් වන්නේ විපක්ෂයට විසි වූවාට පසුව බව අවධාරණය කළ යුතුමය. මීට පෙර බලයේ සිටි පක්ෂ අනුගමනය කළ වැරදි ක්‍රියාමාර්ග ජාජබ වැළඳ ගැනීම තේරුම්ගත නොහැක.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් (ශ්‍රීලමුකො) නායක රවුෆ් හකීම් සහ සමගි ජනබලවේගය (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අධිකරණය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රියාමාර්ගය මැතිසබය තුළ දැඩි ලෙස විවේචනය කර ඇත. ඔවුන් දෙදෙනාම නීතිඥවරුය.

ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව වැඩිකිරීමට රජය දරන උත්සාහය වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන තව කාලයක් එම තනතුරේ තබා ගැනීමට ද යන ප්‍රශ්නය ජයසේකර නඟා ඇත. එතුමා අගවිනිසුරු ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරියේ ජුලි 27, 2025 ලෙස දිව්රුම් දීම සිදුවිය. වසර 2007 දී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස දිවුරුම් දුන් ඔහු 2016 දී අභියාචනාධිකරණයට පත්වීම් ලැබීය. වසර 2018 දී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස පත්වීම ලැබීය. ඊට පසු වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත්වීම ලැබීය.

හිටපු අධිකරණ අමාත්‍යවරයකු වූ හකීම් ජුනි 10 දින පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල ප්‍රකාශයට මැතිසබයේ සහ සමස්තයක් ලෙස රටේ අවධානය යොමු විය යුතුය. ඔහු පළමුව ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව වැඩිකිරීමට කර ඇති යෝජනාව අභියෝගයට ලක් කළේය. ඉන් පසුව නීතිඥ හකීම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතර බැගින් මාස ගණනාවක් තබාගෙන සිටීම පිළිබඳව ප්‍රශ්න කළේය.

ජනාධිපතිවරයා තමන්ගේ ව්‍යවස්ථානුකූල රාජකාරියක් වන මහාධිකරණ විනිසුරුවරුන් අභියාචනාධිකරණයට සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමේ රාජකාරිය පැහැර හැර ඇති බවට අමාත්‍යවරයා චෝදනා කළේය. නිසි කලට පත්වීම් නොකිරීමෙන් විනිසුරුවරුන් අනවශ්‍ය බලපෑමකට යටත් කර ඇති බව ප්‍රකාශ කළ හකීම් ජනාධිපතිවරයා ජවිපෙ/ජාජබ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ කාලයේදී එවක ජනාධිපතිවරුන් ව්‍යවස්ථා සභාව විසින් අනුමත ලද නම් ගැසට් නොකළ අවස්ථාවල ඊට එරෙහිව දැඩි විරෝධතාවයක් පාර්ලිමේන්තුව තුළ පල කළ බව අවධාරණය කළේය. දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලයේ හැසිරීමට හාත්පසින්ම වෙනස් බව පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව සිත මතා උල්ලංඝනය කරන බවටද ඔහු චෝදනා කළේය. ජනාධිපතිවරයා අනුගමනය කරන සමස්ත ක්‍රියාදාමය තුළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ නීති අංශයේ බොහෝ අයට අසාධාරණයක් වන බව පෙන්වා දුන්නේය.

නමුත් හකීම් සහ ඔහුගේ මන්ත්‍රීවරු 2013 දී අගවිනිසුරුවරිය ඉවත් කිරීමට එජනිස සමග එක්විය. නමුත් පාර්ලිමේන්තුවේ හකීම් ජනාධිපතිවරයාට එරෙහිව අදහස් ප්‍රකාශ කළ අවස්ථාවේදී එදා හකීම්ගේ මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ එජනිස සමග එකතු වී අධිකරණය හෑල්ලු කළ ආකාරය මතක් කර දීමට ජාජබ මැති ඇමැතිවරුන්ට අමතක විය. එය බලවත් අතපසු කිරීමකි. දුර්වල කමකි.

පසුගියදා (ජුනි 23) සජබ මැතිසබය දෙවනත් කළේය. ඒ අධිකරණ ක්ෂේත්‍රයේ පැන නැඟී ඇති ව්‍යුහාත්මක ප්‍රශ්න විසඳීම සඳහා පාර්ලිමේන්තුව වහාම මැදිහත් විය යුතු බව අවධාරණය කරමින් සජබ හදිසි විවාදයක් ඉල්ලීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදීය. අධිකරණ ක්ෂේත්‍රයේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සජබ ජුනි 12 දින ද කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හරහා ජනාධිපතිවරයාට දැනුම් දීමක් කළේය. ආණ්ඩුවට අධිකරණ ක්ෂේත්‍රයේ අලුතෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිකිරීමට අවශ්‍ය නැත. නව ප්‍රශ්න ඇතිවීමට පෙර තිබූ ගැටලුකාරී තත්ත්වයන් තවමත් විසඳා ගෙන නොමැත.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට නව පනතක් ගෙන ඒමට ගෙන ඇති තීරණයට විශේෂයෙන්ම 2022 පාලන තන්ත්‍රය වෙනස් කළ මෙහෙයුමට සහයෝගය දුන් කණ්ඩායම් විරුද්ධය. අධිකරණ අමාත්‍යවරයා මෑතකදී මාස දෙකක් ඇතුළත නව ත්‍රස්තවාද විරෝධී පනතක් ගෙන ඒමට පාර්ලිමේන්තුවේදී පොරොන්දු විය.

අධිකරණ පද්ධතිය තුළ සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමේ යාන්ත්‍රණයක් ලෙස රජයේ ප්‍රධාන අභිවෝදක කාර්යාලයක් ස්ථාපිත කර පළාත්බදව උප කාර්යාල පිහිටුවීමට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් යෝජනා කර තිබේ.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය පිළිබඳව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා ජුනි 11, 2026 දින මැතිසබයේදී නැඟූ ප්‍රශ්නයට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර කළ ප්‍රකාශය පහත සඳහන් වේ: “රජයේ අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීම පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමටත්, අවශ්‍ය අවස්ථාවන්හිදී දැනට බලපවත්නා නීති සඳහා අවශ්‍ය සංශෝධන හඳුන්වා දීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කර ඇත. එම විශේෂඥ කමිටුව විසින් මේ පිළිබඳව යෝජනා ලබාදීමට නියමිතයි. මේ වන විට කමිටුව විසින් සාකච්ඡා කරමින් ඉන්නවා. නීතිපතිවරයාගේ බලතල මොනවාද අභිචෝදක කාර්යාලයේ බලතල මොනවාද කියලා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඉදිරිපත් කර ඇත්තේ වසර පහක කාලයක දී ඉටු කිරීමට අපේක්ෂිත පොරොන්දු වන අතර එකී කාලය තුළ ඒ සියල්ල ඉටුකිරීමට පියවර ගනු ලබයි.”

කෙසේ වෙතත් ජාජබ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ජාතික මැතිවරණයේදී දුන් පොරොන්දු සමග ගැලපෙන්නේ නැත. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ලෙස නම් කළ ජාජබ මැතිවරණ ප්‍රකාශනයේ අධිකරණය පිළිබඳව යෝජනා (පිටුව 199 සිට 202) නැවත විමසා බැලිය හැක.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු