හෝමූස් සමුද්‍ර සන්ධියේ බලය අත්පත් කරගැනීම සඳහා ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතිනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් වෙත පනවා තිබූ නාවික අවහිරතාව යළි ක්‍රියාත්මක කිරීමට නියෝග කිරීමත් සමඟ, දෙපාර්ශවය අතර ඉකුත් ජුනි මාසයේ…
හෝමූස් සමුද්‍ර සන්ධියේ බලය අත්පත් කරගැනීම සඳහා ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතිනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් වෙත පනවා තිබූ නාවික අවහිරතාව යළි ක්‍රියාත්මක කිරීමට නියෝග කිරීමත් සමඟ, දෙපාර්ශවය අතර ඉකුත් ජුනි මාසයේදී ඇති කරගෙන තිබූ තාවකාලික සාම ගිවිසුම ද දැන් සම්පූර්ණයෙන්ම අවලංගු වී ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේශකයන් පවසන්නේ. ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරීබාබාදි ප්‍රකාශ කළේ ඇමරිකාවේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් සාම සාකච්ඡා සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවයි. කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය දිගටම තමන් සන්තකයේ තබාගන්නා බව ඉරානය අවධාරණය කරනවා. මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන භාණ්ඩ ප්‍රවාහන නැව් සඳහා සියයට 20 ක ගාස්තුවක් අය කිරීමට මීට පෙර පනවා තිබූ තීරණය ඉල්ලා අස්කර ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ඒ වෙනුවට ගල්ෆ් කලාපයේ රටවල් සමඟ ඇමරිකාව තුළ “දැවැන්ත” වෙළඳ සහ ආයෝජන ගිවිසුම් ඇති කරගන්නා බවයි ඔහු පවසන්නේ. වොෂින්ටනයේදී ඉරාක අග්‍රාමාත්‍ය අලි අල්-සයිදි සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ලෝකය වෙනුවෙන් මෙම මුහුදු තීරය ආරක්ෂා කිරීමට ඇමරිකානු හමුදාව විශාල පිරිවැයක් දරන බැවින් මෙම ආයෝජන ගිවිසුම් කලාපීය රටවලට ද වාසිදායක වනු ඇති බවයි. ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය හෙවත් ‘සෙන්ට්කොම්’ ආයතනය පවසන්නේ ඉරානයෙන් එල්ල වන ප්‍රහාර අඩපණ කිරීම සඳහා අඛණ්ඩව තුන්වන දිනටත් එරටට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි. ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයක් පිහිටි බුෂෙහ්ර් නගරයට මෙන්ම, සිරිකි, බන්ඩර් අබ්බාස්, මහ්ෂහර් සහ අබදාන් තෙල් පිරිපහදුව පිහිටි ප්‍රදේශවලටත් මෙම ප්‍රහාර එල්ල වී තිබෙනවා. එසේ තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර නොකරන බවයි. ඉදිරියේදී ඉරානයේ විදුලි බලාගාර සහ පාලම් පවා ඉලක්ක කරන බවට ඔහු අනතුරු අඟවා සිටිනවා. ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරානය ද ඕමාන් මුහුදු තීරයේ ගමන් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් දැවැන්ත තෙල් නැව් දෙකකට ප්‍රහාර එල්ල කළා. ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව බහරේනයේ සහ ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු මෙන්ම කුවේටය ද ඉරාන රොකට් ප්‍රහාරවල ඉලක්ක බවට පත් වුණා. පවතින යුද වාතාවරණය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනය පසුගිය මාස දෙකක කාලය තුළ අවම මට්ටමකට වැටී ඇති අතර, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ගැටුම තවදුරටත් උග්‍ර කරමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරානයට අනතුරු අඟවා සිටිනවා. ඔහු පවසන්නේ ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළහොත්, ඊට පෙර නොවූ විරූ ඉතා ප්‍රබල සහ විනාශකාරී ප්‍රතිප්‍රහාරයකට මුහුණ දීමට ඉරානයට සිදුවනු ඇති බවයි.

