ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දැඩි උණුසුම් තත්ත්වය සමනය කිරීම සඳහා පාකිස්ථානය විසින් දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ආරම්භ කර තිබෙනවා. වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පෙර පැවති අවබෝධතා ගිවිසුම නැවත ස්ථාපිත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී සැලකිය යුත…
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දැඩි උණුසුම් තත්ත්වය සමනය කිරීම සඳහා පාකිස්ථානය විසින් දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ආරම්භ කර තිබෙනවා. වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පෙර පැවති අවබෝධතා ගිවිසුම නැවත ස්ථාපිත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බවයි පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර, පාකිස්ථාන හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් ඉරාන බලධාරීන් හමුවීම සඳහා ටෙහෙරාන් නුවර වෙත පැමිණීමට නියමිතව තිබෙනවා. දෙරට අතර හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය අවසන් කිරීමේ පාකිස්ථාන මැදිහත්වීමේ පියවරක් ලෙස හමුදාපතිවරයා මෙම වසරේ ඉරානයේ සංචාරය කරන 03 වන අවස්ථාව මෙයයි. මෙම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අතරතුරදීත්, ඇමෙරිකානු මුදල් ලේකම් ස්කොට් බෙසන්ට් විසින් ඉරානයට එරෙහිව අලුතින් සම්බාධක මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම සම්බාධක යටතේ ඉරාන හමුදා නිලධාරීන්, ආයුධ ලබා ගැනීමේ ජාලයන්, නාවික හමුදා තැරැව්කරුවන් මෙන්ම චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා ඛනිජ තෙල් ප්‍රවාහනය කරන ජාලයන් ඉලක්ක කර ඇති බවයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ. ඇමෙරිකාවේ මෙම ආර්ථික තර්ජන හමුවේ ඉරාන රජයේ ප්‍රකාශිකා ෆාතිමා මොහාජරානි ප්‍රකාශ කළේ, පැන නගින ආර්ථික දුෂ්කරතා හමුවේ රට නිවැරදිව මෙහෙයවීමට ඉරාන නායකත්වය සූදානම් බවයි. කෙසේ වෙතත්, ඉරාන ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි දැඩි අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ, ඇමෙරිකාවේ මෙම ආර්ථික යුද්ධය දිගින් දිගටම පැවතුණහොත් ගල්ෆ් කලාපයේ තෙල් අපනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගන්නා බවයි. එසේම ඇමෙරිකානු සම්බාධකවලට සහය දක්වන ඕනෑම රටක ක්‍රියාකලාපය ඉරානයට එරෙහිව කළ යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.








