ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තාවකාලික සටන් විරාම ගිවිසුම අවසන් බව ප්‍රකාශ කිරීමෙන් පසු, ඇමෙරිකාව පිට පිටම හත්වැනි දිනටත් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ​ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය පවසන්නේ ඉරානයේ ඔත්තු බැලීමේ මධ්‍යස්ථාන, යුධ සැපයුම් ගබඩා, භූගත අවි ගබඩා…

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තාවකාලික සටන් විරාම ගිවිසුම අවසන් බව ප්‍රකාශ කිරීමෙන් පසු, ඇමෙරිකාව පිට පිටම හත්වැනි දිනටත් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ​ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය පවසන්නේ ඉරානයේ ඔත්තු බැලීමේ මධ්‍යස්ථාන, යුධ සැපයුම් ගබඩා, භූගත අවි ගබඩා සහ නාවික බලඇණි ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි. මේ සඳහා ප්‍රහාරක ගුවන් යානා, ඩ්‍රෝන යානා සහ යුධ නැව් විශාල වශයෙන් යොදාගෙන තිබෙනවා. ​මේ අතර ඉරානය පවසන්නේ තමන් කලාපයීය ඇමෙරිකානු මිත්‍ර රටවලට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවයි. එසේ තිබියදී ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයකට තම ගුවන් ආරක්ෂක පද්ධති සාර්ථකව මුහුණ දුන් බව කුවේට් රාජ්‍යය පවසනවා. තම ගුවන් සීමාවට ඇතුළු වූ ඉරාන මිසයිල 10ක් විනාශ කළ බවයි ජෝර්දානය ද පවසන්නේ. කෙසේ වෙතත් ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු කඳවුරු දෙකකට ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. සිරියාවේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ද ප්‍රහාර එල්ල කළ බවයි ඉරානය පවසන්නේ. එහෙත් ඇමෙරිකාව ඒ බව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ​ලෝකයේ තෙල් සහ ස්වාභාවික වායු ප්‍රවාහනයෙන් පහෙන් එකක් සිදුවන සුවිශේෂී “හෝමුස් සමුද්‍ර සන්ධිය” ආශ්‍රිතවයි ගැටුම් වඩාත් උත්සන්න වී තිබෙන්නේ. මේ නිසා මේ වනවිට එම මුහුදු මාර්ගයේ නැව් ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ නැවතී ඇතැයි  බීබීසී ප්‍රවෘත්ති සේවය පවසන්නේ. මේ අතර ඉරාන ඉලක්ක වෙත ඇමරිකාව කරන ප්‍රහාරවලින් සිවිල් වැසියන් කිහිප දෙනෙකුද මිය ගොස් සිවිල් යටතල පහසුකම් වලටද හානි සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරීන්ද මීට පෙර අප්‍රසාදය පළ කළ අතර ඔවුන් අවධාරණය කළේ සිවිල් යට්තල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. එහෙත් තමන් ප්‍රහාර එල්ල කළේ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන නොව, ඉරානයේ යුධමය මධ්‍යස්ථානවලට පමණක් බව ඊට ප්‍රතිචාර දක්වමින් ධවල මන්දිර ප්‍රකාශකයෙකු අවධාරණය කළා.