රෝහලට තියෙන ලොකුම ප්‍රශ්නය තැඹිලි නෙවෙයි ඖෂධ නැතිකම...පිළිකා රෝගීන්ගෙන් 54% ක් කාන්තාවන්...පිළිකා ඖෂධ වර්ග 150 කට වැඩිය හිඟයි, තියෙන බෙහෙත් අධික මිලයි...තැඹිලි දානය ක්‍රමවත්ව ලබාදීම රෝගීන්ට යහපතක්...දවසකට පිළිකා රෝගීන් 100ක් වාර්තා වෙයි...මෙරට වෙළෙඳපොළේ ලියාපදිංචිය නැති පිළිකා ඖ…
රෝහලට තියෙන ලොකුම ප්‍රශ්නය තැඹිලි නෙවෙයි ඖෂධ නැතිකම...පිළිකා රෝගීන්ගෙන් 54% ක් කාන්තාවන්...පිළිකා ඖෂධ වර්ග 150 කට වැඩිය හිඟයි, තියෙන බෙහෙත් අධික මිලයි...තැඹිලි දානය ක්‍රමවත්ව ලබාදීම රෝගීන්ට යහපතක්...දවසකට පිළිකා රෝගීන් 100ක් වාර්තා වෙයි...මෙරට වෙළෙඳපොළේ ලියාපදිංචිය නැති පිළිකා ඖෂධ බහුලයි...
මේ වන විට ගෝලීය වශයෙන් වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පෙන්වා දී ඇත. බෝනොවන රෝගවලින් වැඩියෙන්ම මරණ වාර්තා වන්නේ ද පිළිකා රෝගවලින් බව වාර්තා වේ. පෙණහලු, පියයුරු, මහාන්ත්‍රය සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා බහුලව වාර්තා වෙමින් තිබේ. වයස අවුරුදු 50 ට අඩු කාණ්ඩය අතර පිළිකා වර්ධනයවීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇති බවට ද තොරතුරු අනාවරණය වේ. ලෝක ජනගහනය දිනෙන් දින වයස්ගතවීම ද ලොව පුරා පිළිකාව වර්ධනයවීමට ප්‍රබල හේතුවක් බව ලෝක සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ගෝලීය සෞඛ්‍ය ගැටලුවක් ලෙස වර්ධනය වෙමින් තිබෙන පිළිකා රෝගී තත්ත්වය මෙරටට ද දැවැන්ත අභියෝගයක් වෙමින් තිබෙන බව සැබෑ ය. වාර්ෂිකව මෙරටින් වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවට ද තොරතුරු අනාවරණය වේ.
2040 වර්ෂය වන විට මෙරට 60 ට වැඩි පුද්ගලයන් අතරින් 25% ක් පමණ පිළිකාවට ගොදුරු වන බව වාර්තා වේ. ජාතික පිළිකා මර්දන වැඩසටහන නිකුත් කර ඇති දත්තවලට අනුව 2005 සිට 2021 වර්ෂවලදී පිළිකා රෝගීන් ක්‍රමිකව වර්ධනය වෙමින් තිබේ. 2021 වර්ෂයේදී මෙරටින් වාර්තා වී ඇති පිළිකා රෝගීන් සංඛ්‍යාව 37,753 කි. 2022 වර්ෂයේදී වාර්තා වී ඇති පිළිකා රෝගීන් සංඛ්‍යාව 33,243 කි. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ දත්ත සහ ගෝලීය පිළිකා නිරීක්‍ෂණාගාරයේ දත්තවලට අනුව 2023 සිට 2025 වර්ෂය තුළ වාර්තා වූ පිළිකා රෝගීන් සංඛ්‍යාව 35,000 ඉක්මවා ගොස් ඇත. මේ වන විට දිනකට මෙරටින් වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව 100 කට ආසන්න ය. කාන්තාවන් අතර පියයුරු පිළිකාව සහ පිරිමින් අතර මුඛ පිළිකා (පුවක්, දුම්කොළ, දුම්පානය, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය) සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව ද වාර්තා වේ. මෙරටින් වාර්තා වන පිළිකා රෝගීන්ගෙන් බහුතරය කාන්තාවන් ය. ප්‍රතිශතයක් ලෙස 54% කි. පියයුරු පිළිකාවලට අමතරව ගර්භාශගෙල පිළිකා, තයිරොයිඩ් පිළිකා සහ මහාන්ත්‍ර සහ ගුදමාර්ග පිළිකා තත්ත්වයන්ට ගොදුරු වන කාන්තාවන් සංඛ්‍යාව ඉතා වැඩි ය. එවැනි පසුබිමක පිළිකා රෝගීන්ට අවශ්‍ය පහසුකම් සැපයීමේදී ගැටලු මතු වන බව සැබෑ ය. එහෙත් පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධවල හිඟයක් ඇති විය නොහැකි ය. වැඩි වන පිළිකා රෝගීන්ට සාපේක්‍ෂව ප්‍රතිකාර පහසුකම් ද වර්ධනය කිරීම මෙරට සෞඛ්‍ය අංශවල වගකීමකි. එහෙත් වාර්තා වන ආකාරයට රටපුරා පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ කාණ්ඩ කිහිපයක දැඩි හිඟයක් තිබේ. මෙරට සතරදිග් භාගයේම පිළිකා රෝගීන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන, පිළිකා රෝගීන්ගේ ‘මහගෙදර’ බදු ‘මහරගම අපේක්‍ෂා රෝහල’ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වේ. පිළිකා රෝගීන් බහුතරයකට ප්‍රතිකාර ලබාගැනීමට තිබෙන මහරගම අපේක්‍ෂා රෝහලට දරාගැනීමට නොහැකි තරමේ රෝගීන් පැමිණීම මෙරට සෞඛ්‍ය අංශවලට දැඩි තර්ජනයකි. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන ආකාරයට, රජයේ රෝහල්වල නොමැති පිළිකා මර්දන ඖෂධ පෞද්ගලික අංශයේ ද නොමැතිවීම හේතුවෙන් මේ වන විට රට තුළ දැඩි අර්බුදයක් මතු වෙමින් තිබේ.
“පහුගිය අවුරුදු කිහිපයක ඉඳලා පිළිකා ඖෂධවල හිඟයක් තිබුණා. කඩිනමින් විසඳුම් ලබාදෙන බවට එවකට රාජ්‍ය ඖෂධ සංස්ථාව පොරොන්දු වුණා. ඒත් තවම ප්‍රශ්නයට පිළියමක් නෑ. රජයේ රෝහල්වල නැති සමහර ඖෂධ වර්ග පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න වෙලා. පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලට ගැනීමට සිදුවීම නිසා මුදල් නැති රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත් වෙලා තියෙනවා. ඒ වගේම වෙළෙඳපොළේ පවතින පිළිකා ඖෂධවල මිල ගණන් අධික ලෙස ඉහළ ගිහින්. අසරණ රෝගීන්ට ඒ මිල දරාගන්න බෑ. මේ වෙනකොට සුදු රුධිරාණු අඩුවීම වැළැක්වීමට ලබාදෙන අත්‍යවශ්‍යම එන්නත් වර්ගයේ දැඩි හිඟයක් තියෙනවා. කීමෝ ඖෂධ, අතුරු ආබාධ අවම කිරීමට ලබාදෙන ඖෂධ, වමනය පාලනයට ලබාදෙන ඖෂධවල දැඩි හිඟයක් තියෙනවා. ඒ වගේම අපේක්‍ෂා රෝහලේ යන්ත්‍රසූත්‍ර ක්‍රියාවිරහිත වීම, දිගු පොරොත්තු ලේඛන නිසා මිල අධිකම ස්කෑන් පරීක්‍ෂණ කිහිපයක්ම පෞද්ගලික අංශයෙන් කරගන්න වෙලා. පිළිකා සෛල පැතිරීම නිරීක්‍ෂණය (PET-CT), MRI Scan, Contrast CT Scan මැමෝග්‍රෑම් (Mammogram) සහ Radioisotole Bone Scan රුපියල් 5,000 සිට රුපියල් 180,000 දක්වා අධික මිල පරාසයකට විහිදෙන Biopsy/Histopathology (පටක පරීක්‍ෂණය) Immunohistochemistry (IHC), Flow Cytometry (ලේ පිළිකා සඳහා) Tumor Markers (CA 15-3, CA-125, PAS, CEA) පරීක්‍ෂණ රාශියක් පෞද්ගලික අංශයෙන් කර ගන්න වෙලා. ඒ වගේම අපේක්‍ෂා රෝහලේ විකරණ ප්‍රතිකාර යන්ත්‍ර අක්‍රියවීම, Radiation යන්ත්‍ර නිතර තාක්‍ෂණික දෝෂවලට ලක්වීම නිසා මාස ගණන් රෝගීන්ට පොරොත්තු ලේඛනවල ඉන්න වෙලා තියෙනවා. මෙරට සෑම ප්‍රදේශයකින්ම අපේක්‍ෂා රෝහලට රෝගීන් පැමිණෙන නිසා වාට්ටුවල තිබෙන ඇඳන්වලට වඩා වැඩි පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන තත්ත්වයට පත්වෙලා තියෙනවා. මෑතක සිට අපේක්‍ෂා රෝහල් කාර්යමණ්ඩලයේ සාමාජිකයන් බහුලව ඩෙංගු රෝගයට ගොදුරුවීමත් දැවෙන ගැටලුවක් බවට පත් වෙමින් තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් සහ පුහුණු හෙද හෙදියන් විශාල වශයෙන් රට හැර යෑමත් අපේක්‍ෂා රෝහලට දැවැන්ත ගැටලුවක්. ඒත් රජයේ රෝහල්වල විවිධ ගැටලු, ඖෂධ නොමැතිව මියයන පිළිකා රෝගීන්ගේ ජීවිතවල වගකීම භාරගන්න කවුරුවත් නෑ. ඒ වගේම ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය මගහැර මෙරටට ගෙන්වන ඖෂධ වර්ග විශාල වශයෙන් මෙරට වෙළෙඳපොළේ අලෙවි කරනවා. ඒ අතර පිළිකා ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. මහරගම අපේක්‍ෂා රෝහල අවට සහ රට පුරා බොහෝ ෆාමසිවල මෙරට ලියාපදිංචිය නැති ඖෂධ අලෙවි කරනවා. ඒ සමහර ඖෂධවල මිල සාමාන්‍ය වෙළෙඳපොළ මිලට වඩා අඩුයි. දැනට රජය මගින් සැපයීමට ලක්නොකරන ඇතැම් ඖෂධවල මිල සාමාන්‍ය වෙළෙඳපොළ මිලට වඩා කීප ගුණයකින් වැඩියි. මේ ගැටලු සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂවරයාට ලිඛිත දැනුම් දීමක් කරල තියෙනවා. ඒත් තවම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙච්ච බවක් පෙන්න නෑ. ඖෂධ මිල නියාමනය හරි හැටි සිදු වෙන්නෙත් නෑ. ඒ නිසා වෙළෙඳපොළට හොර බෙහෙත් පැමිණීම දවසින් දවස වැඩි වෙමින් තිබෙනවා…” දීර්ඝ කරුණු පැහැදිලි කිරීමකින් පසු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව නිහඬ විය.
වෙළෙඳපොළේ පවතින ලියාපදිංචියක් නොමැති ඖෂධ ගැන සොයාබැලීම ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන වගකීමකි. එම ආයතනය තම වගකීම පැහැර හැරීමෙන් ‘බෙහෙත් වස වී’ මේ රටේ මිනිස් ජීවිත අහිමිවීම ද වැළැක්විය නොහැකි ය. මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 85% ක් පමණ ආනයනික බෙහෙත් ය. පිළිකා ඖෂධ බොහෝමයක් ආනයනය කරනුයේ ඉන්දියාව, බංග්ලාදේශය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලිනි. විශේෂිත ඖෂධ සහ ඖෂධ නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය චීනයෙන් ද ආනයනය කරනු ලැබේ. රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟයට පිළියමක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, විදේශීය පරිත්‍යාගශීලින් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ද ඖෂධ පරිත්‍යාග කරනු ලැබේ. එවැනි පසුබිමක මෙරට වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්තවලට අනුව මේ වන විට අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන ඖෂධ කාණ්ඩ 150 කට වැඩි ප්‍රමාණයක හිඟයක් පවතින බව ද වාර්තා වේ. එම ඖෂධ හිඟය පෞද්ගලික අංශය දක්වා ව්‍යාප්ත වෙමින් පවතින බවට ද තොරතුරු අනාවරණය වේ. ඖෂධ නියාමන අධිකාරියේ පවතින අඩුලුහුඬුකම් මත ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ලබාදෙන සැපයුම්කරුවන් මෙරට හැර යෑම ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය ඉස්මතුවීමට ප්‍රබල හේතුවක් බව ද වෛද්‍ය චමල් සංජීව පෙන්වා දුන්නේ ය. ශල්‍යකර්ම, චර්ම රෝග හෝ රූපලාවණ්‍ය විෂය පථය යටතේ සිදුකෙරෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය සම මතුපිටින් ආලේප කරන නිර්වින්දන ආලේපන වර්ග නොමැතිව වෛද්‍යවරු දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ද හේ අවධාරණය කළේ ය. පිළිකා රෝගීන්ට නිකුත් කරන ඖෂධ පමණක් නොව බොහෝ රෝග සඳහා ලබාදෙන ඖෂධවල හිඟයක් පවතින බවත් රජයේ රෝහල් පද්ධතියේ ගැටලු පොදි ගැසෙමින් තිබෙන බවටත් තොරතුරු අනාවරණය වේ. එවැනි භයායන තත්ත්වයක් තුළ මහරගම අපේක්‍ෂා රෝහලේ රෝගීන්ට ලබාදෙන ‘තැඹිලි’ ප්‍රශ්නයක් අල්ලාගෙන දැඟලීම සෞඛ්‍ය ගැටලු බොහෝමයක් යට ගැසීමට කරන සංදර්ශයක් බව දැන සිටිනුයේ සුළුතරයක් පමණි. කාලයක සිට අමුතු නාඩගම් රඟ දැක්වෙන පසුතලයක මහරගම අපේක්‍ෂා රෝහලේ රෝගීන්ට තැඹිලි වතුර, ආහාර වර්ග සහ විවිධ භාණ්ඩ ක්‍රමවත්ව, සෞඛ්‍යය ආරක්‍ෂිතව ලබාදීමට ගෙන ඇති තීරණය කාලෝචිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියෙක් අප සමග පැවසුවේ ය.
අපේක්‍ෂා රෝහලේ රෝගීන්ට ලබාදීමට තැඹිලි වතුර සූදානම් කරන අයුරු
“රෝගීන්ට තැඹිලි ලබාදීම බොහොම හොඳ සද්කාරයක්. ඒත් රෝගීන්ට තැඹිලි වතුර අනිවාර්යෙන් ලබාදිය යුතුයි කියල වෛද්‍ය නිර්දේශයක් නෑ. තැඹිලි වතුරෙන් කෙරෙන්නෙ පිපාසය නිවීමක් විතරයි. රෝග මර්දනයට තැඹිලි වතුර අමුතු ඖෂධයක් නෙමෙයි. ඒ වගේම අපේක්‍ෂා රෝහලේ රෝගීන්ට තැඹිලි වතුර ලබාදීමත් එක්ක කාලයක ඉඳල යම් යම් ගැටලු මතු වෙමින් තිබුණා. ලොරිවලින් රැගෙන එන තැඹිලි රෝහල් භූමියේ තියාගෙන කපල බැරල්, බාස්කට්වලට දාගෙන තමයි වාට්ටුවල රෝගීන්ට බෙදන්නෙ. තැඹිලි වතුර ගන්නා භාජනය සමහර වෙලාවට බාස්කට්, බැරල් එක ඇතුළට වැටෙනවා. තවත් විටෙක බිමට වැටෙනවා. බිම තියෙන අවස්ථා තියෙනවා. එවැනි ගැටලු නිසා තැඹිලි වතුර ලබාදීමේදී අපිරිසිදුතාවයක් ඇති වෙනවා. පිළිකා රෝගීන්ට විෂබීජ ශරීරගත වීමේ ප්‍රවණතාව ඉතා ඉහළයි. තැඹිලි වතුර ලබාදීමේදී ඇති වන අපිරිසිදුතාවයෙන් රෝගීන්ට විෂබීජ ශරීරිගත වීමේ ලොකු අවදානමක් තියෙනවා. ඒ වගේම තැඹිලි බෙදාදීමට වාහන කිහිපයකින් විශාල පිරිසක් එන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථාවල රෝහල් භූමියත් තරමක් කාර්යබහුල වෙලා විශේෂඥ වෛද්‍යවරුන්ට පවා අපහසුතා ඇති වෙනවා. විශාල පිරිසක් තැඹිලි වතුර, ආහාර වර්ග රෝගීන්ට බෙදනකොට වාට්ටුවල රාජකාරියටත් බාධාවක්. යහපත් චේතනාවෙන් පින්කමක් කරනකොට ප්‍රශ්න ඇති නොවෙනවා නම් පුණ්‍ය ශක්තිය වැඩියි. ඒ නිසා අවිධිමත් ක්‍රමයට සිදුවෙච්ච ‘තැඹිලි’ පරිත්‍යාගය නතර කිරීමට රෝහල් අධ්‍යක්‍ෂවරයා ගත්ත තීරණය හොඳයි. මීට පෙරත් අපේක්‍ෂා රෝහලේ රෝගීන්ට ලබාදෙන ‘තැඹිලි’ පරිත්‍යාග නතර කරන්න සාකච්ඡා කෙරුණා. ඒත් ප්‍රශ්න ඇති වෙයි කියලා හිටපු අධ්‍යක්‍ෂවරු මේ තීරණය ගත්තෙ නෑ. වර්තමාන අධ්‍යක්‍ෂවරයා අපේක්‍ෂා රෝහලේ රෝගීන් ගැන හිතල අරගෙන තියෙන මේ තීරණය නැවත නැවත අගය කරන්න ඕනෑ. කිසිදු ප්‍රශ්නයක් ඇතිනොවෙන ආකාරයට අපේක්‍ෂා රෝහලේ රෝගීන්ට පරිත්‍යාග ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ‘තැඹිලි’ දානය නතර කරන්නෙත් නෑ. පරිත්‍යාගශීලින් ලබාදෙන ‘තැඹිලි’ සෞඛ්‍ය ආරක්‍ෂිතව රෝගීන්ට බෙදාදීමට වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ වෙනකොට තැඹිලි ලොරියක් මහරගමට අරගෙන එන්න රුපියල් ලක්‍ෂ දෙකකට කිට්ටු මුදලක් වියදම් වෙනවා. ඒ මුදලින් තැඹිලි වතුර දෙනවට වඩා ලොකු සේවයක් රෝගීන් වෙනුවෙන් කරන්න පුළුවන්. තැඹිලි පරිත්‍යාග කරන්න බලාපොරොත්තුවෙන් සිටින පරිත්‍යාගශීලින් ඒ ගැනත් අවධානය යොමු කරනව නම් ඉතා හොඳයි…” තැඹිලි ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබෙන බව වෛද්‍යවරයාගේ කතාවෙන් පැහැදිලි ය. එහෙත් සෞඛ්‍ය අංශයේ හොඳ හෝ නරක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට රජයේ වෛද්‍යවරු බියක් දක්වන බව හැඟේ.
පිළිකා රෝගීන්ගේ ඥාතීන් පවසන ආකාරයට අපේක්‍ෂා රෝහලට තැඹිලි රැගෙන එන දානපතියන් ඒ සමග රෝගීන්ට අත්‍යවශ්‍ය සබන්, දත්බෙහෙත්, රෙදිපිළි, රෝගී දරුවන්ට පාසල් උපකරණ ඇතුළු රෝහලේ නොමැති ඖෂධ වර්ග ද වෛද්‍ය නිර්දේශ මත පරිත්‍යාග කරනු ලැබේ. දීර්ඝ කාලයක් හෝ මියැදෙනතුරු ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට එම පරිත්‍යාග සහන මල්ලක් වැනිය. පිළිකා රෝගීන්ගේ පවුල්වල ආදායම් මාර්ග අවහිර වී ආර්ථික ගැටලු ජාලයකින් වෙළෙමින් දැඩි පීඩනයකට පත්ව සිටින ඥාතීන්ට ද තම රෝගීන්ට යම් පරිත්‍යාගයක් ලැබීම අස්වැසිල්ලකි. එහෙත් ප්‍රධාන පරිත්‍යාග නොව, රෝගී ජීවිත ය. ඔවුන්ට ලබාදෙන ප්‍රතිකාර ය. රෝගී ජීවිත සහ ප්‍රතිකාර අවදානමේ හෙළීම බරපතළ තත්ත්වයකි. එහෙයින් පිළිකා රෝගීන්ට ලබාදෙන තැඹිලි සහ ආහාර වර්ග රෝහලේ ආහාර ඇණවුම් භාර නිලධාරි හරහා ප්‍රධාන මුළුතැන්ගෙයට භාරදීමට ඔබ කාරුණික විය යුතු ය. කාලෙන් කාලයට අලුත් වන නීති හමුවේ අසරණ රෝගීන්ට ලබාදෙන කිසිදු පරිත්‍යාගයක් නතර නොකරන ලෙස පරිත්‍යාගශීලි ඔබට අපි සිහිපත් කර සිටිමු. ඔබ ලබාදෙන තැඹිලි ඇතුළු විවිධ ආහාර සෞඛ්‍ය ආරක්‍ෂිතව රෝගීන්ට ලබාදීමට අපේක්‍ෂා රෝහල් කාර්යමණ්ඩලය ද සැදීපැහැදී සිටින බව වාර්තා විය. එමෙන්ම අපේක්‍ෂා රෝහලේ නොමැති ඖෂධ ප්‍රදානය කිරීමට ද ඔබට අවස්ථාව තිබේ. ඒ සඳහා වෙනම අංශයක් ක්‍රියාත්මක ය. 0777468503 දුරකථන අංකයට වට්ස්ඇප් කොට හිඟ ඖෂධ ලයිස්තුව ලබාගෙන සසර ගමනට මහා කුසලයක් රැස් කරගැනීමට ඔබ ප්‍රමාද නොවන බව ද අපගේ විශ්වාසයි.
එමෙන්ම පවතින ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රතිපාදන බැංකු මගින් නිදහස් කරගැනීමේදී මතු වන ගැටලු, ඖෂධ සපයන විදේශීය සමාගම්වලට ගෙවිය යුතු මුදල් ගිවිසුම් ප්‍රකාරව නොගෙවීම නිසා ඇති වන ගැටලු, ඖෂධ ඇණවුම් කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීම් ආශ්‍රිතව පවතින නීතිමය හා තාක්‍ෂණික ගැටලු, ලෝක වෙළෙඳපොළේ ඇතැම් අමුද්‍රව්‍ය හිඟවීම සහ නැව් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මතු වන ගැටලුවලට කඩිනමින් විසඳුම් සෙවීම මෙරට සෞඛ්‍ය අංශයේ වගකීමකි. රටේ ජනතාව නව රජයක් පත් කරගත්තේ පැවති රජයන් හරහා එවැනි ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් නොලැබුණු නිසා ය. මෙරට ජනතාව සිහින පොදි බැඳගෙන පත් කරගත් ආණ්ඩුව යටතේ මරාන්තික පිළිකා රෝගයටත් බෙහෙත් හිඟ නම් අසරණ ජනතාවට අබ සරණ ය. නිදහස් සෞඛ්‍ය සේවයට දෙයින්ගේම පිහිට ය. වෙළෙඳපොළේ තිබෙන පිළිකා ඖෂධ සහ පරීක්‍ෂණවල මිල ගණන් දකිනවිට මුළු ගතම හිරි වැටිණි. මනුෂ්‍ය ශරීරයේ හට ගන්නා රෝග අතරින් වැඩිම පරීක්‍ෂණ ප්‍රමාණයක් කළ යුතු රෝගය පිළිකාව බව කනවැකුණු විට හදවත කම්පනයට පත් විය. ඇඟිලි තුඩු අතර සිර වී තිබුණු පෑන ගිලිහිණි.
අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂක දුරකථනයට සම්බන්ධ වුණේ නෑ
මහරගම අපේක්‍ෂා රෝහලේ උද්ගතව ඇති ගැටලුකාරි තත්ත්වය සහ පිළිකා ඖෂධ හිඟය ගැන කරුණු විමසා බැලීමට අපේක්‍ෂා රෝහලේ වැඩ බලන අධ්‍යක්‍ෂ, කොළඹ ජාතික රෝහලේ නව අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික මහතාව දුරකථනය ඔස්සෙ සම්බන්ධ කරගැනීමට කිහිපවිටක් අපි උත්සාහ දැරුවෙමු. එහෙත් රෝහල් අධ්‍යක්‍ෂවරයාව සම්බන්ධ කරගැනීමට නොහැකි විය.
ඡායාරූප – අන්තර්ජාලය ඇසුරිනි.
තරංග රත්නවීර

