නේපාලයේ දැනට ක්‍රියාත්මක ගංවතුර සහන සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දක්වමින්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටොන් 11ක් සහ විශේෂඥ සහන කණ්ඩායම් රැගත් ඉන්දියානු සිව්වන සහන ගුවන් යානය අද (30) කත්මණ්ඩු නුවර වෙත ළඟා වුණා. නේපාලයේ ඉන්දියානු තානාපති නවීන් ශ්‍රීවාස්තවා නිවේදනය කළ පරිදි, මෙම සහන තො…
නේපාලයේ දැනට ක්‍රියාත්මක ගංවතුර සහන සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දක්වමින්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටොන් 11ක් සහ විශේෂඥ සහන කණ්ඩායම් රැගත් ඉන්දියානු සිව්වන සහන ගුවන් යානය අද (30) කත්මණ්ඩු නුවර වෙත ළඟා වුණා. නේපාලයේ ඉන්දියානු තානාපති නවීන් ශ්‍රීවාස්තවා නිවේදනය කළ පරිදි, මෙම සහන තොගයට කූඩාරම්, ඇතිරිලි, නිදන බෑග්, ප්ලාස්ටික් රෙදි සහ සනීපාරක්ෂක කට්ටල ඇතුළු ජීවිත ආරක්ෂක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රාශියක් ඇතුළත්. මානුෂීය ආධාරවලට අමතරව, සංකීර්ණ උමං මාර්ග තුළ සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂිත වූ තාක්ෂණික කණ්ඩායමක් ද මෙම ගුවන් යානයෙන් නේපාලයට පැමිණ ඇත. එමෙන්ම, විපතට පත්වූවන් හඳුනාගැනීමේ සහ නීති වෛද්‍ය පරීක්ෂණ සදහා අවශ්‍ය විශේෂිත DNA විශ්ලේෂණ උපකරණ සහිත අධිකරණ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් ද මෙම පිරිසට ඇතුළත් වනවා. මෙම අර්බුදකාරී අවස්ථාවේදී නේපාලයට අවශ්‍ය වහාම ක්‍රියාත්මක වන තාක්ෂණික, වෛද්‍ය සහ ද්‍රව්‍යමය ආධාර සැපයීමට ඉන්දියාව ගෙන යන තිරසාර වැඩපිළිවෙළේ තවත් පියවරක් ලෙස මෙම සහන ද්‍රව්‍ය තොගය යවා තිබෙනවා. පසුගිය අගෝස්තු 26 වැනිදා නේපාලයේ භෝටේ කෝෂි ගංගාව පිටාර ගැලීමෙන් සිදු වූ විනාශකාරී ගංවතුර තත්ත්වයෙන් පසු මුදාගැනීමේ සහ සහන සේවා කටයුතු වේගවත් කර ඇති අතර, ඉන්දියාව ඒ සඳහා ගොඩබිම් සහ ගුවන් මාර්ග ඔස්සේ දක්වන සහාය තවදුරටත් ඉහළ නංවා තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිල දත්තවලට අනුව, ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටි ඉන්දීය ජාතිකයන් 88 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති බවයි සදහන් වන්නේ. තවද, දැනට ඉන්දීය ජාතිකයන් 120 දෙනෙකු චීනයේ සිට නේපාලය දෙසට සාර්ථකව සීමා මායිම් පසුකර පැමිණ තිබෙනවා. ප්‍රවාහන හා යටිතල පහසුකම් නැවත ගොඩනැගීමට ඉන්දියාව දක්වන සහයෝගය පැහැදිලි කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් X පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, අඩි 230 ක දිගින් යුත් තනි මංතීරුවේ මොඩියුලර් වානේ පාලමක් සෑදීමට අවශ්‍ය උපකරණ පටවාගත් ලොරි රථ 16 ක් මේ වන විටත් නේපාලයට ළඟා වී ඇති බවයි. මීට අමතරව, තවත් බේලි වර්ගයේ පාලම් හතක් සඳහා අවශ්‍ය උපකරණ ඉදිරියේදී යැවීමට නියමිත අතර, අත්‍යවශ්‍ය ගොඩබිම් ප්‍රවාහන සබඳතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාක්ෂණික කණ්ඩායම් ද ඊට එක්වනු ඇති. මෙම නවතම සහන තොගයත් සමඟ ඉන්දියාව මෙතෙක් අත්‍යවශ්‍ය ඖෂධ, අතේ ගෙන යා හැකි ජෙනරේටර්, ආහාර පාර්සල්, ජලය පිරිසිදු කරන පෙති සහ බරපතල තාක්ෂණික උපකරණ ඇතුළු සහන ද්‍රව්‍ය ටොන් 68.5 ක් ගුවන් මගින් කත්මණ්ඩු වෙත යවා තිබෙනවා.










