සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් රතු හා කළු හෙල්මට් දෙකක් සහ කළු බෑගයක් සමග ඌරුබොක්ක – මාතර මාර්ගයේ දම්පහල පොල්වත්ත ප්‍රදේශයේ තේ වත්තක දමා ගොස් තිබියදී අද උදෑසන සොයාගෙන තිබෙනවා. ඒ, ඌරුබොක්ක පොලීසිය…
සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් රතු හා කළු හෙල්මට් දෙකක් සහ කළු බෑගයක් සමග ඌරුබොක්ක – මාතර මාර්ගයේ දම්පහල පොල්වත්ත ප්‍රදේශයේ තේ වත්තක දමා ගොස් තිබියදී අද උදෑසන සොයාගෙන තිබෙනවා. ඒ, ඌරුබොක්ක පොලීසිය විසින්. මේ අතර ‘බැකෝ සමන්‘ නමැත්තාගේ මව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මහා පාරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙසට බවට පොලීසිය සැක පල කරනවා. මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී ඇය වෙඩි ප්‍රහාරයකට ලක් වුණේ ඊයේ පස්වරුවේයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබු බවයි පොලීසිය පැවසුවේ. එහිදී බරපතල තුවාල ලැබු බැකෝ සමන් නමැත්තාගේ මව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒ අනුව මිද්දෙණිය පොලිස් ස්ථානය මගින් පමණක් කණ්ඩායම් 5 ක් පත් කර තිබෙනවා. එම පොලිස් කණ්ඩායම් විසින් අදාල ප්‍රදේශයට ගොස් ඝාතනයට ලක් වූ කාන්තාවගේ නිවසේ සිටි පවුලේ සාමාජිකයන්ගෙන් මෙන්ම අසල්වාසීන් ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. ‘කෙහෙල්බද්දර පද්මේ‘ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලිය පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ‘බැකෝ සමන්‘ නමැත්තා ද එම පිරිස අතර සිටියා. ඒ අනුව රක්‍ෂිත බන්ධනාගාරගත කළ බැකෝ සමන් පළමු රදවා සිටියේ බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේයි. පසුව ඔහු ඇතුළු බූස්ස බන්ධනාගාරයේ රදවා සිටි ප්‍රබල ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7 දෙනෙකු වැලිසර නාවික හමුදා කදවුරේ ස්ථාපිත විශේෂ ආරක්‍ෂිත ස්ථානයක රදවනු ලැබුවා. ඒ අතරට බැකෝ සමන් මෙන්ම වෙලේසුදා, දෙමටගොඩ චමින්ද සහ ලොකු පැටීද අයත් වනවා. මේ අතර බැකෝ සමන්ට සිය මවට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාවක් පවතිනවා. ඒ සදහා ඔහු හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කළ යුතු වනවා. කෙසේවෙතත් ඔහු රදවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යාමට ප්‍රමාණවත් ආරක්‍ෂාවක් සැපයිය හැකි දැයි ආරක්‍ෂක අංශවලින් විමසීමක් කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඒ අනුව ආරක්‍ෂක අංශ විසින් ඔහුට අවශ්‍ය ආරක්‍ෂාව සපයන බවට තහවුරු කලහොත් පමණක් බැකෝ සමන් මවට අවසන් ගෞරව දැක්වීම සදහා රැගෙන යනු ඇති. කෙසේවෙතත් අවශ්‍ය ආරක්‍ෂාව ලබාදීමට ආරක්‍ෂක අංශ නොහැකි බව ප්‍රකාශ කළ හොත් බැකෝ සමන් එලෙස රැගෙන නොයන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එසේවුවහොත් ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ මවගේ දේහය බැකෝ සමන්ට පෙන්වීමට අවශ්‍ය කටයුතු සලසා දිය හැකි බවද බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවා.












