සටන් නැවැත්වීම සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම සම්පූර්ණයෙන් නොසලකා හරිමින් අමෙරිකාව සහ ඉරානය ඉකුත් දින කිහිපයේදී ද දෙපාර්ශවයේ ඉලක්ක වෙත දරුණු ප්‍රහාර එල්ල කර තිබෙනවා. අමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය ප්‍රකාශ කළේ ඉරානයේ වෙරළ තීරයේ පිහිටි ගුවන් ආරක්ෂණ පද්ධති සහ හමුදා මධ්‍යස්ථාන ඇතුළු ඉ…

සටන් නැවැත්වීම සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම සම්පූර්ණයෙන් නොසලකා හරිමින් අමෙරිකාව සහ ඉරානය ඉකුත් දින කිහිපයේදී ද දෙපාර්ශවයේ ඉලක්ක වෙත දරුණු ප්‍රහාර එල්ල කර තිබෙනවා. අමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය ප්‍රකාශ කළේ ඉරානයේ වෙරළ තීරයේ පිහිටි ගුවන් ආරක්ෂණ පද්ධති සහ හමුදා මධ්‍යස්ථාන ඇතුළු ඉලක්ක අනූවකට තමන් ප්‍රහාර එල්ල කළ බවයි. ඊයේ මෙන්ම පෙර දින දෙකේ ද අමෙරිකාව ඉරාන ඉලක්ක වෙත මෙලෙස ප්‍රහාර කළා. මෙම ඇමරිකානු ප්‍රහාරවලින් ඉකුත් දින දෙක තුළ පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 78 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ පිහිටි ඉලක්ක වෙත, චබහාර් වරායේ පාලන කුළුණකට සහ හමුදා කඳවුරකට ද ප්‍රහාරවලින් හානි සිදුව තිබෙනවා. ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද දිගින් දිගටම කුවේටය, බහරේනය, කටාර් රාජ්‍යය, ජෝර්දානය සහ ඉරාකය යන රටවල පිහිටි ඇමරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍යයේ පැවසුවේ. මේ හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා නැවත වරක් දැඩි ආරක්ෂක අවධානමක් මතුව තිබෙනවා. මේ අතර ඉකුත් පෙබරවාරි මාසයේදී අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය, දින හයක අවමංගල්‍ය උත්සවයකින් පසු මෂාද් නුවරදී ඊයේ මිහිදන් කෙරුණා. ඒ සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදි බැස සිටි අතර, ඔවුන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දැඩි විරෝධය පළ කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේ තිබියදී, ලෝක වෙළඳාමට අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන භාණ්ඩ සහ තෙල් ප්‍රවාහන නෞකා සංඛ්‍යාව විශාල ලෙස පහත වැටී ඇති බව නාවික ක්ෂේත්‍රයේ නිරීක්ෂකයින් පවසනවා. සාමාන්‍යයෙන් දිනකට නෞකා 130 ක් පමණ ගමන් කරන මෙම මුහුදු මාර්ගයේ, මේ වන විට ගමන් කරන්නේ නෞකා 30 ක් වැනි සුළු සංඛ්‍යාවක් පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අනුව ඉදිරියේදී ලෝක වෙළඳපොළට සහ නැව් ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.