වසර 55ක් කිසිදු දේශපාලන හෝ හමුදා සංධානයකට එක් නොවුණ බංග්ලාදේශය MJDA ගිවිසුමට (Makkah Joint Defence Agreement) හෝ මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට එක්වුවහොත් බංග්ලාදේශය මෙතෙක් රැකගත් නොබැඳි ප්‍රතිරූපය බිඳී යනු ඇතැයි ද දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. පසුගිය අගෝස්තු හත්වැනි දා සෞදි අර…

වසර 55ක් කිසිදු දේශපාලන හෝ හමුදා සංධානයකට එක් නොවුණ බංග්ලාදේශය MJDA ගිවිසුමට (Makkah Joint Defence Agreement) හෝ මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට එක්වුවහොත් බංග්ලාදේශය මෙතෙක් රැකගත් නොබැඳි ප්‍රතිරූපය බිඳී යනු ඇතැයි ද දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

පසුගිය අගෝස්තු හත්වැනි දා සෞදි අරාබිය, තුර්කිය සහ පකිස්තානය MJDA ගිවිසුම අත්සන් කළ අතර අගෝස්තු දාහත් වැනි දින සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මන් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය තාරික් රහ්මන්ට සෞදියට පැමිණෙන ලෙස කළ ආරාධනය සමග මෙම සංශයවාදී කතා ආරම්භ වී ඇත. එම MJDA ගිවිසුම තුළින් කලාපයේ දශක ගණනාවක් තිබූ එක්සත් ජනපද කේන්ද්‍රීය ආරක්ෂක පෙළගැස්මෙන් ඉවත්වීමක් පෙන්නුම් කර ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

මෙම ගිවිසුමේ දැක්වෙන්නේ එහි සාමාජිකයකුට සිදුවන පහර දීමක් සියලුම සාමාජිකයන්ට කළ ප්‍රහාරයක් ලෙස සලකන බවත්, එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් පුළුල් ගැටුමකට මඟ පාදන බවත්ය. සෞදි අරාබිය යනු බංග්ලාදේශයේ වැඩිම විදෙස් ශ්‍රමිකයන් සිටින රට නිසා සෞදියේ මෙම ඉල්ලීමට පිටුපෑම බංග්ලාදේශයේ විනිමය සංචිතවලට තීරණාත්මක වනු ඇතැයි ද එසේම මෙම තීරණය බංග්ලාදේශය බටහිර ආසියානු බලදේශපාලනය මඩ ගොහොරුවකට ඇද වැටීමක් හා මෙය ඉන්දියාව අබිබවා යෑමට ගන්නා උත්සාහයක් වනු ඇතැයි ද සමහර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම ගිවිසුම නිසා අනාගතයේදී බංග්ලා දේශයට කිසිසේත්ම සම්බන්ධයක් නැති ඉන්දු පකිස්තාන් ගැටුමට ද මැදිහත්වීමට සිදුවනු ඇත.

මුස්ලිම් රටවල දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම මුස්ලිම්වරුන්ගේ ආගමික ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති මුස්ලිම් රාජ්‍ය අතර සන්ධානයක් නොවන බවයි. තුර්කිය මෙම සන්ධානයට එක්වීම ඩකා – ඉස්ලාමාබාද් මිලිටරි සන්ධානයක් ඇතිවීම ද දිල්ලියේ දැඩි අවධානයට යොමු වී ඇත. එසේම මෙම සන්ධානය ආරක්‍ෂාවට ඍජු තර්ජනයක් ලෙස ඉන්දියාව නොසලකනු ඇතැයි ද දේශපාලන විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.