කෛලාෂ කූඨය බෞද්ධයන්ට ද ඉතා පූජනීය ස්ථානයකි. ටිබෙට් භාෂාවෙන් මෙම කන්ද ‘කැං රින්පොචේ’ ලෙස හැඳින්වෙන අතර, එහි අර්ථය ‘හිමෙන් සැදුණු වටිනා මැණික’ යන්නයි. හිමාලයානු කලාපයේ කලා හා ආගමික උරුමය පිළිබඳ කටයුතු කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ රූබින් හිමාලයානු කෞතුකාගාරයට අනුව, ඇතැම් බෞද්ධයන් විශ්…

කෛලාෂ කූඨය බෞද්ධයන්ට ද ඉතා පූජනීය ස්ථානයකි. ටිබෙට් භාෂාවෙන් මෙම කන්ද ‘කැං රින්පොචේ’ ලෙස හැඳින්වෙන අතර, එහි අර්ථය ‘හිමෙන් සැදුණු වටිනා මැණික’ යන්නයි. හිමාලයානු කලාපයේ කලා හා ආගමික උරුමය පිළිබඳ කටයුතු කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ රූබින් හිමාලයානු කෞතුකාගාරයට අනුව, ඇතැම් බෞද්ධයන් විශ්වාස කරන්නේ කෛලාෂ යනු පුරාවෘත්තවල සඳහන් මහා මේරු කන්ද හෙවත් විශ්වයේ කේන්ද්‍රය බව ය.

චීනය විසින් යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයට ඉදිරිපත් කර ඇති ලේඛනවලට අනුව, ප්‍රකට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද විවිධ කාලවලදී මානසරෝවර් විල් ඉවුරේ භාවනා කරමින් ආගමික වතාවත්වල නිරත වී තිබේ. බෞද්ධයන්ට කෛලාෂ කන්දේ ඇති වැදගත්කම පැහැදිලි කරමින් කුෂාල් බරන් චක්‍රබෝර්ති මෙසේ ද පැවසීය: “භූතානය, චීනය, ටිබෙටය, ඉන්දියාවේ සිකිම් සහ ඩාර්ජිලිං, කාශ්මීරයේ ලඩාක් සහ මොංගෝලියාවේ මහායාන බෞද්ධයන් විවිධ දෙවිවරුන් සහ දේවතාවියන් වන්දනාමාන කරනවා. පාල රාජවංශ සමයේ බෙංගාලයේත් මහායාන බෞද්ධයන් සිටියා. ඒ නිසා බෙංගාලයේ කෞතුකාගාරවල බෞද්ධ දෙවිවරුන්ගේ සහ දේවතාවියන්ගේ පිළිම විශාල සංඛ්‍යාවක් දැකගත හැකි යි. උදාහරණ ලෙස මාරීචි, හිරම්බ සහ වජ්‍රසත්ත්ව සඳහන් කළ හැකියි. මහායාන බෞද්ධයන්ට භරෑරව ඉතා වැදගත්. භරෑරව යනු ශිව දෙවියන්ගේ එක් ස්වරූපයක්.”

බොන් ධර්මයේ කෛලාෂ කන්දට ඇති වැදගත්කම ඊටත් වඩා පැරණි ටිබෙට් ආගමික සම්ප්‍රදායක් සමග සම්බන්ධ වේ. බොන් ධර්මය අනුගමනය කරන්නන්ට කෛලාෂ යනු, ඔවුන්ගේ ආධ්‍යාත්මික කේන්ද්‍රය මෙන්ම පූජනීයම වන්දනා ස්ථානවලින් එකකි.

කෛලාෂ-මානසරෝවර් කලාපය සම්බන්ධයෙන් බොන් ධර්මය සහ ටිබෙට් බුදුදහම අතර දිගුකාලීන මතභේදයක් පැවතී තිබේ. 11 වන සියවසේදී මාන්සරෝවර් ඉවුරේදී ආගමික ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා දෙපාර්ශ්වයේ

අනුගාමිකයන් අතර ප්‍රධාන තරගයක් පැවති බව පැවසේ. එහිදී ටිබෙට් බෞද්ධයන් ජයගත් බව සඳහන් වේ.

කෛලාෂ කූඨය සහ මාන්සරෝවර් විල යන දෙකම පිහිටා ඇත්තේ චීනයට අයත් ස්වයං පාලන ප්‍රදේශයක් වන ටිබෙටයේ ය.

කෙසේ වෙතත්, මෙම ප්‍රදේශය නේපාලයේ සහ ඉන්දියාවේ දේශසීමාවලට ද ඉතා ආසන්නව පිහිටා ඇත.

කෛලාෂ කූඨය මුහුදු මට්ටමේ සිට මීටර් 6,638ක්, එනම් අඩි 21,778ක් පමණ උසින් පිහිටා ඇත. එනම්, ලොව උසම කන්ද වන එවරස්ට් කන්දට වඩා කෛලාෂ කූඨය උසින් අඩු වන්නේ මීටර් 2,000කට වඩා මදක් වැඩි ප්‍රමාණයකිනි.

කෛලාෂ කූඨයට දකුණින්, ඒ ආසන්නයේම මානසවිල පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 4,600ක් පමණ උසක පිහිටි මෙය මිරිදිය විලක් වන අතර, එය ආසියාවේ ඉහළ ම උන්නතාංශයක පිහිටි මිරිදිය විල් අතරින් එකකි.