අසමසම හඬ මාධුර්යයකින් හා තමන්ටම අනන්‍ය වූ ගායන විලාසයකින් යුතුව දේශයේ යශෝරාවය නැංවූ අභාවප්‍රාප්ත අග්‍රගණ්‍ය ගායනවේදිනි ආචාර්ය නන්දා මාලනිය පෙරේදා (22 දා) සුවහසක් රසික සමූහයා හඬවමින් දැයෙන් සමුගත්තාය. ඒ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණු කොළඹ බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේදී ය…

අසමසම හඬ මාධුර්යයකින් හා තමන්ටම අනන්‍ය වූ ගායන විලාසයකින් යුතුව දේශයේ යශෝරාවය නැංවූ අභාවප්‍රාප්ත අග්‍රගණ්‍ය ගායනවේදිනි ආචාර්ය නන්දා මාලනිය පෙරේදා (22 දා) සුවහසක් රසික සමූහයා හඬවමින් දැයෙන් සමුගත්තාය. ඒ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණු කොළඹ බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේදී ය.

ආචාර්ය නන්දා මාලනියගේ අවසන් කැමැත්ත අනුව කිසිදු රාජ්‍ය ගෞරව දැක්වීමක්, නිල අවමංගල සභාවක් හෝ කිසිදු ගුණකථනයකින් තොරව මෙම සියලු කටයුතු ඉතා චාම් අයුරින් සිදු කෙරිණි. ඒ අනුව ශෝක ප්‍රකාශන කියවීමක් ද සිදු නොවීය.

සිය ගායන දිවිය ඔපවත් කරමින් මියුරු ගී පද මාලා ගොතා දුන් දිවිමඟෙහි සමීපතම හිතවතා වූ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, තම දියණියන්, පවුලේ සොයුරු සොයුරියන් ඇතුළු සමීපතම ඥාති හිතමිතුරන් මෙන්ම ඇයට, ඇයගේ ගීතයට හදවතින්ම ආදරය කළ සහෘද කලාකරුවන් සහ දසදහස් සංඛ්‍යාත ශ්‍රාවක ජනතාවගේ සෝ සුසුම් හඬ වැලපුම් මැද මළහිරු බැසගිය සන්ධ්‍යා යාමයේදී එම අවසන් කටයුතු සිදුවිය.

පසුගිය 21 වැනිදා සිට නන්දා මාලනියට ගෞරව පුද කිරීමට ඇයගේ දේහය තැන්පත් කර තිබූ නුගේගොඩ නාවල විජයබා මාවතේ අංක 30 දරන ස්ථානයේ පිහිටි සංගීත ආශ්‍රමයට දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණියහ. කිලෝමීටරයක් පමණ දුරට පෝලිම්වල රැඳී සිටිමින් කඳුළු පිරි දෑසින් යුතුව ඒ බාහෝදෙනා හඬාවැටුණේ එතුමියගේ ගායනාවලින් තම ජීවිතයට ලැබුණු ආලෝකය හා උද්දීපනය වූ කලාකාමී හැඟීම් සිහිපත් කරමිනි. එතුමියට අවසන් බුහුමන් පිදීමට පැමිණි බොහෝදෙනා අප සමග පැවසුවේ සමාජයේ දුක් විඳින පීඩිත ජනතාවගේ හදගැස්ම හඳුනාගනිමින් ගීතයෙන් ඔවුන්ව ආමන්ත්‍රණය කළ ඇය වැනි ගායිකාවක් යළි මේ ලක් පොළොව මත බිහි නොවනු ඇති බවයි.

නන්දා මාලනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ආචාර්ය වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි ඇතුළු මෙරට කීර්තිමත් කලාකරුවන් විශාල පිරිසක් ද ගෙවුණු දින දෙක තුළ සංගීත ආශ්‍රමයට පැමිණියහ.

22 වැනිදා පෙ.ව. 10.30 ට පමණ මහා සංඝරත්නය වැඩමවීමෙන් අනතුරුව දේහය පිළිබඳ අවසන් ආගමික වතාවත් සිදු කෙරිණි. ප.ව. 3.30 ට දේහය රැගත් රිය පෙරහැර කොළඹ බොරැල්ල කනත්ත කරා පිටත් වූයේ මග දෙපස රැඳී සිටි ජනතාවගේ සෝ සුසුම් මැද ය. ඇගේ රුව සහ හඬ පෞරුෂයේ අමරණීය මතකයන් පමණක් ඉතිරි කරමින් අවසන වාතලයට එක්වූයේ ආදාහනාගාරය අවට සිටි මහ පිරිස් හඬා වැලපෙන මොහොතේදීය.සවිත්‍ර නේරංජන ඇල්වලගේ – ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්