ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සම සත්කාරක අමෙරිකාව තරගාවලියෙන් ඉවතට ඇද දමමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ප්‍රබල බෙල්ජියම අද සමත් වුණා. අවසන් තරග ප්‍රතිඵලය ගෝල 4 කට 1 ක්. පාපන්දුවට පෙම් බදින ලෝකයේ බොහෝ දෙනෙකු මෙම තරගය පිළිබද දැඩි අවධානයකින් බලා සිටියා. ඒ, තරගයට පෙර ජ…
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සම සත්කාරක අමෙරිකාව තරගාවලියෙන් ඉවතට ඇද දමමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ප්‍රබල බෙල්ජියම අද සමත් වුණා. අවසන් තරග ප්‍රතිඵලය ගෝල 4 කට 1 ක්. පාපන්දුවට පෙම් බදින ලෝකයේ බොහෝ දෙනෙකු මෙම තරගය පිළිබද දැඩි අවධානයකින් බලා සිටියා. ඒ, තරගයට පෙර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆීෆා ආයතනයට කළ අත්තනෝමතික බලපෑම සහ ඒ අනුව අමෙරිකානු ක්‍රීඩකයෙකුට පනවා තිබූ තරග තහනමක් ඉවත් කිරීමට ද ෆීෆා ආයතනය පියවර ගැනීම හේතුවෙන්. තරග තහනමට ලක්ව සිටියේ ඇමරිකානු ක්‍රීඩක ෆොලරින් බලෝගුන්. මීට පෙර බොස්නියාව සමග තරගයේදී තරග රීති කඩකිරීම හේතුවෙන් විනිසුරුවරුන් ඔහුට රතු කඩ් පත ලබා දුන් අතර ෆීෆා රීතිවලට අනුව එලෙස රතු කඩ් පත ලබාදෙන ක්‍රිඩකයන්ට ඊළග තරගයේදී තරග තහනමක් නියම වනවා. එසේ තිබියදීයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆීෆා ආයතනයට බලපෑම් කර ඇත්තේ. ජනාධිපතිවරයා ෆීෆා ප්‍රධානියාට සෘජුවම දුරකථනයෙන් කතා කර ඇති අතර ෆොලරින් බලෝගුන්ට පනවා ඇති තරග තහනම පිළිබද නැවත සලකා බලා එම තහනම ඉවත් කරන ලෙස එහිදී ඔහු ෆීෆා ප්‍රධානියාගෙන් ඉල්ලා තිබෙනවා. ඊට පසුවයි ෆොලරින් බලෝගුන්ට පනවා තිබූ තරඟ තහනම තාවකාලිකව අත්හිටුවීමට ෆීෆා ආයතනය පියවර ගත්තේ. මේ සම්බන්ධයෙන් බෙල්ජියම් පාපන්දු සංගමය මෙන්ම යුරෝපා පාපන්දු සම්මේලනය ද දැඩි විරෝධය පළ කළත්, ෆීෆා ආයතනය ඒ විරෝධතා ද සැලකිල්ලට ගත්තේ නැහැ. ඒ අනුවයි බෙල්ජියම සමග අද තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද ෆොලරින් බලෝගුන්ට හිමි වුණේ. එසේ තිබියදී මේ සිදුවූ දේ කිසිසේත් සිදු නොවිය යුත්තක් බවත් මෙය ක්‍රීඩාව කෙරෙහි සිදුවූ බරපතල දේශපාලන අතපෙවීමක් බවත් ක්‍රීඩා විචාරකයන් පවසනවා. 1962 වසරෙන් පසු මෙවැන්නක් සිදුවූ පළමු අවස්ථාව ද මෙය බව පෙන්වා දෙන ක්‍රීඩා විචාරකයන් වැඩිදුරටත් කියා සිටින්නේ මෙමගින් ක්‍රීඩාවේ ජීව ගුණය බරපතල ලෙස තර්ජනය ලක්වන බවයි. කෙසේ වෙතත් රතු කාඩ්පත ලැබී තරඟ තහනමකට ලක්ව සිට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් නැවත කණ්ඩායමට කැදවුම් ලැබූවත් ෆොලරින් බලෝගුන්ට දෛවයේ සරදමකට මෙන් අද තරගයේදී ප්‍රමාණවත් දක්ෂතා දැක්වීමට හැකිවූයේ නැහැ. බෙල්ජියම් ආරක්ෂක වළල්ල හමුවේ ඔහු සම්පූර්ණයෙන්ම අවරණ වී සිටි බවයි ක්‍රීඩා විචාරකයන් කියා සිටියේ. තරඟය පුරාම ආධිපත්‍යය පැතිරවීමට බෙල්ජියම් ක්‍රීඩක චාල්ස් ඩි කෙටලෙයාර් සමත් වුණා. බෙල්ජියම වෙනුවෙන් වාර්තා වූ ගෝල 4න් 2ක්ම ලබාගත්තේ ද ඔහු විසින්. මීට අමතරව හාන්ස් වැනෙකන් සහ ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි රොමේලු ලුකාකු බෙල්ජියම වෙනුවෙන් අනෙක් ගෝල වාර්තා කළා. අමෙරිකාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ලබාගත්තේ මලික් ටිල්මන් විසින්. මෙම පරාජයත් සමග අමෙරිකාව තරගයෙන් ඉවත් වන අතර ඒ අනුව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමසත්කාරක රටවල් 3ම දැන් තරඟාවලියෙන් ඉවතට විසිවී තිබෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ෆීෆා ප්‍රධානියාටත් සැර ප්‍රතිචාරයක් දක්වමින් අද තරගය ජයගත් බෙල්ජියම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ඔවුන් ලබන සිකුරාදා ලොස් ඇන්ජලීස් නුවරදී ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව තරඟ බිමට පිවිසීමට නියමිතයි.

