ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සහ සංචාරකයින් සඳහා අමතක නොවන අත්දැකීම් නිර්මාණය කිරීමට කැපවී සිටින වෘත්තිකයන් සහ ව්‍යාපාරික ආයතන ඇගයීම අරමුණු කරගනිමින්, “ශ්‍රී ලංකා සංචාරක විශිෂ්ටතා සම්මාන – 2026” ජාතික සම්මාන වැඩසටහන එළඹෙන ජනවාරි මාසයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැ…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සහ සංචාරකයින් සඳහා අමතක නොවන අත්දැකීම් නිර්මාණය කිරීමට කැපවී සිටින වෘත්තිකයන් සහ ව්‍යාපාරික ආයතන ඇගයීම අරමුණු කරගනිමින්, “ශ්‍රී ලංකා සංචාරක විශිෂ්ටතා සම්මාන – 2026” ජාතික සම්මාන වැඩසටහන එළඹෙන ජනවාරි මාසයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම සම්මාන උළෙලේදී හෝටල්, අවන්හල්, සංචාරක අලෙවිකරණ ආයතන සහ ආගන්තුක සත්කාර සේවා සපයන්නන් ඇතුළු ක්ෂේත්‍රයේ විවිධ අංශ රැසක් ඇගයීමට ලක් කෙරෙන බවයි සංවිධායක මණ්ඩලය පවසන්නේ. සේවා විශිෂ්ටත්වය, පාරිභෝගික අත්දැකීම, නිෂ්පාදන හා සේවා ගුණාත්මකභාවය, නවෝත්පාදනය, තිරසාර හා වගකීම් සහගත භාවිතයන් මෙන්ම කර්මාන්තයට දක්වා ඇති බලපෑම ඇතුළු ප්‍රධාන මානයන් රැසක් ඔස්සේ මෙහිදී ආයතන ඇගයීමට ලක් කිරීමට නියමිතයි. මෙම සම්මාන ක්‍රියාවලියේ විශ්වසනීයත්වය, විනිවිදභාවය සහ ස්වාධීනත්වය උපරිමයෙන් තහවුරු කිරීම සඳහා විශේෂ පාලන ව්‍යුහයක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව, උපදේශක කමිටුවක්, තාක්ෂණික කමිටුවක් සහ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් ඇතුළත් ත්‍රිවිධ පාලන ව්‍යුහයක් යටතේ විනිශ්චය කටයුතු සිදු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. මෙමඟින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ආයතනවලට තම කාර්ය සාධනය ජාතික ප්‍රමිතීන් සමඟ සසඳා බැලීමටත්, සන්නාම කීර්තිය ශක්තිමත් කරගනිමින් ක්ෂේත්‍රයේ පිළිගැනීමක් ලබා ගැනීමටත් සුවිශේෂී අවස්ථාවක් හිමිවනවා. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ව්‍යාපාරික නායකයින් සහ මාධ්‍ය නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම මහා මංගල්‍යය, ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ ජාතික අරමුණ තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.











