හංවැල්ල-හෝමාගම අවිස්සාවේල්ල කප්පම් හා අපරාධ තිප්පළක් කරගෙන ඉඳලාකොණ්ඩ රංජි – ඇල්ටො ධර්මෙ වනාතේ චතූත් පෝළිමේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ඩුබායි පොලිසිය සමග ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඩුබායි හෝටලයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයකු බව කියන ලලිත් කන්නන්ග…

හංවැල්ල-හෝමාගම අවිස්සාවේල්ල කප්පම් හා අපරාධ තිප්පළක් කරගෙන ඉඳලාකොණ්ඩ රංජි – ඇල්ටො ධර්මෙ වනාතේ චතූත් පෝළිමේ

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ඩුබායි පොලිසිය සමග ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඩුබායි හෝටලයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයකු බව කියන ලලිත් කන්නන්ගර හෙවත් ‘බස් ලලියා’ හෙට (25 දා) මෙරටට රැගෙන ඒමට නියමිතය.

මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධවල නිරත වෙමින් හංවැල්ල, හෝමාගම, අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව භීතියට පත්කරමින් ඩුබායි හි සැඟව සිට මෙරට අපරාධ සිදුකළ බවට මොහුට චෝදනා එල්ලවී තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මාස කිහිපයකට පෙර ඩුබායි පොලිසිය සමග එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඩුබායි පොලිසියේ රඳවාගෙන එරට නීතිමය කටයුතුවලින් පසු ඔහු මෙරටට භාරදීමට එකඟවී ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ උපදෙස් මත සැකකරු රැගෙන ඒම සඳහා එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් ඇත.

‘බස් ලලියා’ නමැති මෙම සැකකරුගේ තර්ජන හමුවේ හංවැල්ල, මීගොඩ, හෝමාගම ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන්, ධනවත් පුද්ගලයන් සිය නිවාස අතහැර වෙනත් ප්‍රදේශවලට පලාගොස් තිබුණි. මෙම පුද්ගලයාට කප්පම් මුදල් ලබානොදීම නිසා කිහිපදෙනකුම ඝාතනයට ලක්වීම මෙසේ ව්‍යාපාරිකයන් සහ ධනවතුන් ප්‍රදේශය අතහැර යෑමට හේතු වී තිබුණි. මොහුට කප්පම් ලබානොදුන් ව්‍යාපාරිකයන් මෙන්ම විරුද්ධවාදීන් පහළොස්දෙනකුට ආසන්න පිරිසක් මොහු සහ මොහුගේ මෙහෙයවීම මත ඝාතනයට ලක්වී ඇති බවට චෝදනා එල්ල වී ඇත.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘ධනා’ නමැත්තා ඝාතනය කර තිබුණේ ලලිත් කන්නන්ගර බව පොලිසිය පවසයි. රැකියාවක් නොමැතිව සිටියදී ලලිත් කන්නන්ගර සිය නිවසට කැඳවාගෙන බස් කොන්දොස්තරවරයකු ලෙස රැකියාව ලබාදී සිය නිවසේ තබාගත් පුද්ගලයා ද කප්පම් ලබානොදීම නිසා මොහු විසින් වෙඩි තබා ඝාතනය කළ බවට ද චෝදනා එල්ලවී ඇත.

විදෙස්ගතව සිටින තවත් අපරාධකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සැකකරුට අමතරව කොණ්ඩ රංජි, ඇල්ටො ධර්මෙ සහ වනාතේ චතූ නමැති පාතාල නායකයෝ ද ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටිති.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ සිද්ධියට කොණ්ඩ රංජි නමැත්තාට චෝදනා එල්ලවී ඇත. ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය සිල්වාගේ පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇල්ටො ධර්මෙට චෝදනා එල්ල වී ඇති අතර වනාතේ චතූ නැමැත්තාට පසුගිය කාලයේ වනාතේ සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.හේමන්ත රන්දුණු – චමින්ද සිල්වා