හරකුන්ට බොන්න දෙන්නවත් වතුර නෑ මාස දෙකකට අධික කාලයක් පවතින දැඩි නියඟය හේතුවෙන් පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් දොළහක, පවුල් දෙදහස් දහයක පුද්ගලයන් හයදහස් එකසිය අනූදෙකක් ජල හිඟය නිසා දැඩි පීඩාවට පත්ව ඇතැයි පදියතලාව ප්‍රාදේශීය ලේකම් බී. වී. සුදර්ශන ගුණසේන මහ…
හරකුන්ට බොන්න දෙන්නවත් වතුර නෑ
මාස දෙකකට අධික කාලයක් පවතින දැඩි නියඟය හේතුවෙන් පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් දොළහක, පවුල් දෙදහස් දහයක පුද්ගලයන් හයදහස් එකසිය අනූදෙකක් ජල හිඟය නිසා දැඩි පීඩාවට පත්ව ඇතැයි පදියතලාව ප්‍රාදේශීය ලේකම් බී. වී. සුදර්ශන ගුණසේන මහතා පැවසීය.
තවදුරටත් වැසි ඇද නොවැටෙන තත්ත්වයක් තුළ මෙම තත්ත්වය දිනෙන් දිනම උග්‍ර අතට හැරෙමින් ජල මූලාශ්‍ර සිඳී යමින් දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රාදේශීය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය (21දා) පදියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුව අමතමිනි.
පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේගම, සේරන්කඩ, හෝලිකේ, ගල්ඕඩේ, පුළුන් ගස්මුල්ල, පළතුරුවැල්ල, පදියතලාව කිරවාන, කෙහෙල් උල්ල, හාගම්වෙල, තලාපිටඔය – දකුණ, තලාපිටඔය වම යන ග්‍රාම නිලධාරී වසම්වල දැඩි නියඟය හේතුවෙන් උග්‍ර ජල ගැටලුවකට මුහුණ පා ඇත.
මෙම ප්‍රදේශ සඳහා පානීය ජලය සපයා දීම සඳහා ආණ්ඩුව මාස තුනකට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන මේ වන විටත් පදියතලාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දී ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ පදියතලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්. එම්. අනුර රාජපක්ෂ මහතා (ජාතික ජනබලවේගය) මෙසේ පැවසීය.
“දැනට දිනකට පානීය ජලය ලීටර් විසිපන් දහසක් බෙදාහරිනවා. එක් නිවසකට සතියකට පානීය ජලය ලීටර් දෙසීයක් ලබා දෙනවා. දැනට සතියට දින හයක් ජලය බෙදනවා. ඉදිරියේ දී දින තුනකට වරක් ලීටර් දෙසීයට වඩා එක් නිවසකට ජලය ලබාදීම තමයි අරමුණ. මුදල් ප්‍රතිපාදනවල කිසිදු ගැටලුවක් නෑ. නියඟය තව උත්සන්න වුවත් ආණ්ඩුව ඇතුළු අප සියල්ලම සූදානම්. දැනට වතුර බෙදන බවුසර්වල අඩුපාඩුවක් පවතිනවා. ඒ වගේම ඒවාට රියැදුරන් හා රිය සහායකයන්ගේ ලොකු අඩුවක් පවතිනවා. ඒ නිසා පදියතලාව ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුවේ යෝජනා ස්ථිරත්වයෙන් තීරණයක් ගත්තා දෛනික වැටුප් ගෙවන පදනමින් රියැදුරන් හා සහායකයන් කිහිප දෙනෙක් තාවකාලිකව බඳවා ගන්න. දිසාපතිතුමා ඒ සඳහා කඩිනමින් අනුමැතිය ලබා දෙයි.
මහවැලි අධිකාරියේ මොරගහකන්ද ව්‍යාපාරය සතු ලීටර් දොළොස් දහසේ ලොරි බවුසරයක් ලබන සතියේ ජලය බෙදන්න එකතු වෙනවා. මිරිස්වත්ත වළදෝව කණ්ඩිය හැර ප්‍රදේශයේ සුළු පරිමාණ වැව් සියල්ලක්ම හිඳිලා තියෙන්නේ. ඒ නිසාම කිරි ගව පාලනය කරන විශේෂයෙන්ම හාගම්වෙල හා කීනාතුමුල්ල ගම්මානවල හරකුන්ට බොන්න දෙන්නවත් වතුර නෑ. ප්‍රදේශයේ සුළු සුළු දෝෂ හේතුවෙන් පාවිච්චියට නොගෙන අතහැර දමා ඇති නළ ළිං තිහක් හදන්න අනුමැතිය අරන් තියෙනවා. ප්‍රදේශයේ ප්‍රධානතම ආගමික මධ්‍යස්ථානයක් වූ පදියදොර ශ්‍රී මහා බෝධිය නියඟය නිසා වියළීමට පත් වෙලා. ඒ සඳහා ප්‍රාදේශීය සභාවේ ජල බවුසර් මගින් බෝධියට ජලය සපයන්න කටයුතු කරනවා.
ප්‍රදේශයේ ගොවි ජනතාවට එක් වගා කන්නයක්ම නියඟය නිසා මග හැරිලම ගියා. ඒ නිසා ගොවීන් අසරණ වෙලා ඉන්නේ. ඔවුන් නැවත නඟාසිටුවීම සඳහා වැඩසටහනක් සාකච්ඡා මට්ටමේ පවතිනවා.
පදියතලාව ආපදා කළමනාකරණ ඒකකයේ ආපදා සහන සේවා නිලධාරී එච්. එම්. රාජපක්ෂ, පදියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඒ. එන්. කේ. අත්තනායක යන මහත්වරු ද, සියලු රාජ්‍ය ආයතන නියෝජිතයන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රජා ශක්ති සභාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.පදියතලාව විශේෂ – භාෂණ සත්‍යප්‍රියපින්තුර – පදියතලාව












