ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ලියොනල් මෙසී ප්‍රමුඛ ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම අද සමත් වුණා. ඒ, තියුණු මුහුණුවරක් ගත් අවසන් පූර්ව තරඟයකදී එංගලන්තය ගෝල 2 ට 1 ක් ලෙස පරාජය කරමින්. තරගය පැවැත්වුනේ ​ඇමරිකාවේ ඇට්ලන්ටා නුවරදීයි. එහිදී තරඟයේ මුල් භාග…

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ලියොනල් මෙසී ප්‍රමුඛ ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම අද සමත් වුණා. ඒ, තියුණු මුහුණුවරක් ගත් අවසන් පූර්ව තරඟයකදී එංගලන්තය ගෝල 2 ට 1 ක් ලෙස පරාජය කරමින්. තරගය පැවැත්වුනේ ​ඇමරිකාවේ ඇට්ලන්ටා නුවරදීයි. එහිදී තරඟයේ මුල් භාගය කණ්ඩායම් දෙකේම කරට කර සටනක් වූ අතර 55 වැනි විනාඩියේදී ඇන්තනි ගෝඩන් වාර්තා කළ සුපිරි ගෝලයත් සමඟ තරගයේ පෙරමුණ ගැනීමට එංගලන්තයට හැකි වුණා. ​නමුත් තරඟය අවසන් වීමට විනාඩි 5ක් තිබියදී ක්‍රියාත්මක වූ ආජන්ටිනාවේ එන්සෝ ෆර්නැන්ඩස්, දර්ශනීය ගෝලයක් ලබා ගනිමින් තරඟය සම තත්ත්වයට පත් කළා. පසුව තරඟයේ අතිරේක කාලයේදී ලියොනල් මෙසී ලබා දුන් පන්දුවක් හිසෙන් වැදීමට සලස්වා ආචන්ටිනාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට ලෝතාරෝ මාර්ටිනස් සමත් වුණා. ​ඒ සමග, 1966 වසරෙන් පසු පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරඟයකට පිවිසීමට එංගලන්තය දුටු සිහිනය බොඳ වී ගියා. ආජන්ටිනාව නැවත වරක් ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා. ​දැන් ආජන්ටිනාව ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරඟයේදී ස්පාඤ්ඤය සමඟ ශූරතාව වෙනුවෙන් තරඟ වැදීමට නියමිතයි. 39 වැනි වියේ පසුවන ලියොනල් මෙසීට සිය දෙවැනි ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීමට මෙහිදී අවස්ථාව හිමි වන අතර, එහිදී ඔහුට ස්පාඤ්ඤයේ නැගී එන තරුණ ක්‍රීඩක ළැමීන් යමාල්ගෙන් දැඩි අභියෝගයක් එල්ල වනු ඇති බව නිසැකයි. ​පරාජයට පත් වූ එංගලන්තය සහ ප්‍රංශය ලබන සෙනසුරාදා තෙවැනි ස්ථානය සඳහා වන තරඟයට ක්‍රීඩා කරනවා.