පොලිසියේ ක්‍රියාකාරිත්වයට එරෙහිව ඉකුත් වසර පහක කාලයේ දී (2021-2025) මහජන පැමිණිලි එකොළොස් දහස් අටසිය පනස්නවයක් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ලැබී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත. පොලිසියේ ක්‍රියාකාරිත්වයට එරෙහිව ලැබී ඇති මහජන…
පොලිසියේ ක්‍රියාකාරිත්වයට එරෙහිව ඉකුත් වසර පහක කාලයේ දී (2021-2025) මහජන පැමිණිලි එකොළොස් දහස් අටසිය පනස්නවයක් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ලැබී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.
පොලිසියේ ක්‍රියාකාරිත්වයට එරෙහිව ලැබී ඇති මහජන පැමිණිලි සංඛ්‍යාව ක්‍රමිකව වැඩිවෙමින් පවතින බවද විගණනය මගින් අනාවරණය කර තිබේ. ඉකුත් වර්ෂයේ දී (2025) පොලිසියට එරෙහිව මහජන පැමිණිලි 2,979ක් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ලැබී තිබුණි. පොලිසියට එරෙහිව 2021 වර්ෂයේ මහජන පැමිණිලි 1893ක්, 2022 වර්ෂයේ දී මහජන පැමිණිලි 1,676ක්, 2023 වර්ෂයේ දී 2,448ක් හා 2024 වර්ෂයේ දී පැමිණිලි 2,863ක් ලැබී තිබුණි.
ඉකුත් වර්ෂයේ දී පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණයට පත්වීමට එරෙහිව අභියාචනා 05ක් ලැබී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වෙයි. පොලිසිය විසින් ක්‍රියා නොකිරීම, බලය අයථා ලෙස පරිහරණය කිරීම, පක්ෂග්‍රාහී වීම, බොරු චෝදනා කිරීම, මත්ද්‍රව්‍ය වැරදි, පහරදීම, අල්ලස හා දූෂණ, නීති විරෝධී ලෙස රඳවා ගැනීම, වධ හිංසා පැමිණවීම හා කාන්තාවන්ට හා ළමුන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් මහජන පැමිණිලි පොලිසියට එරෙහිව ලැබී ඇති බව ද විගණනය මගින් අනාවරණය කර තිබුණි.
ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
ලලිත් චාමින්ද












