දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීම පිළිබද සලකා බලමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් අද හා හෙට විශේෂ දුම්රිය ධාවනය වීමේ ඉඩකඩ අවම බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ. “මේ සතිඅන්තයේ තමන්ට වෙන ප…

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීම පිළිබද සලකා බලමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් අද හා හෙට විශේෂ දුම්රිය ධාවනය වීමේ ඉඩකඩ අවම බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ. “මේ සතිඅන්තයේ තමන්ට වෙන ප්‍රවාහනයේදී වෙන අපහසුතාවයට අපි වගකිව යුතු වෘත්තීය සමිතියක් විදියට කනගාටුව පළ කරනවා. අපි උපරිම උත්සාහ කරනවා දෙපාර්තමේන්තුවට බල කරලා යම්කිසි විශේෂ දුම්රිය ප්‍රමාණයක් මේකට යොදවයි කියලා. ඒ යෙදෙව්වත් ප්‍රමාණවත් නැත්නම් කලට වේලාවට දුම්රියට එන්න, පාපුවරුවේ රැඳී නොසිටිමින් හැකි තාක් දුරට තමන්ගේ ආරක්ෂාකාරී දුම්රිය ගමන කරගන්න කටයුතු කරගන්න. ඒ පණිවිඩය විතරයි අපිට කියන්න තියෙන්නේ.” ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු නිශාන් ද සිල්වා  දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. දුම්රිය ගමනා ගමන අධිකාරී අසංග සමරසිංහ මහතා පැවසුවේ සාමාන්‍ය දුම්රිය වාර නියමිත පරිදි ක්‍රියාත්මක බවයි. ඊට අමතරව මාතර, රඹුක්කන සහ මහව සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය කිහිපයක් යෙදවීමට සලකා බලමින් සිටින බවද ඔහු පැවසුවා. දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා: “ඔව්, ඇත්තටම අමතර දුම්රිය සාමාන්‍යයෙන් දීර්ඝ සතිඅන්තවල යෙදවීම සිදු කරනවා. දැන් මේ දවස්වල අපේ තියෙන බලඇණියත් එක්ක අමතර දුම්රිය යෙදවීමේ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. හැබැයි අපි සාමාන්‍ය දුම්රිය සේවා වාර ටික සියලුම් පරිදි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි සැලසුම් කරනවා දැන් අද හවස සහ හෙට දිනයේ උදෑසනත් තවත් අමතර දුම්රිය සේවා වාර කිහිපයක් – විශේෂයෙන් මාතර, රඹුක්කන, මහව වගේ ප්‍රදේශවල සිට කොළඹ දක්වා ධාවනය කරවන්න තියෙන හැකියාව සලකා බලමින් පවතිනවා. තවමත් එහෙම නිශ්චිත තොරතුරක් කියන්න බෑ, අද හවස තමයි ඒ ගැන තීරණයක් ගන්නේ. නමුත් අපි සාමාන්‍ය දුම්රිය සේවා වාර සැලසුම් කරපු පරිදි සියල්ලම ධාවනය කරන්න කටයුතු කරනවා.” නිශාන් ද සිල්වා : “අමතර දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙලා තියෙන්නේ කුමක්ද තියෙන ගැටලුව?” දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා: “මෙහෙමයි, අමතර දුම්රිය සේවා වාර – ඒ කියන්නේ අමතර දුම්රිය සේවා වාර ඇත්තටම අපි විශේෂයෙන් මේ මීට පෙරත් ක්‍රියාත්මක කරන්නේ ඔය ඇසළ පෙරහැර, ඒ වගේම මඩූ උත්සවය එහෙමත් නැත්නම් නල්ලූර් එක – ඒ වගේ විශේෂ අවස්ථාවලට තමයි අපි අමතර දුම්රිය සේවා වාර ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ වගේ වේලාවලදී අපි කරන්නේ පවතින දුම්රිය සේවා වාර අවලංගු කිරීමකින් තොරව ධාවනය කරන එක තමයි. ඉතින් අපි මඩූ එකට, ඊට පස්සේ නල්ලූර් එකට අමතර දුම්රිය සේවා වාර එකතු කරලා තියෙනවා. මේ වේලාවේදී අපි කරන්නේ පවතින සේවා වාර අවලංගු වීමකින් තොරව – විශේෂයෙන් කාර්යාල දුම්රිය සේවා වාර, මගීන් බලාපොරොත්තු වෙන විශේෂයෙන් කාර්යාල දුම්රිය සේවා වාර අවලංගු වීමකින් තොරව ධාවනය කරන්න, ඉතින් අපි ඒක ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තියෙනවා.”