සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ගණේමුල්ල සංජීව‘ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයෙකු ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ‘ගම්පහ ඔස…

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ගණේමුල්ල සංජීව‘ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයෙකු ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ‘ගම්පහ ඔස්මන්‘ හෙවත් ඔස්මන් ගුණසේකරගේ පුත් ෂෙහාන් ගුණසේකර විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා. ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි ඇතුළු පිරිසට ලබන සැප්තැම්බර් මස 03 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ. අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ, ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව පෙත්සම්කරුගේ පියා දැනටමත් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවයි. එමෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසය තර්ජනාත්මක ස්වරූපයෙන් තමන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බැවින්, ඕනෑම මොහොතක තමන්ව ද අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙත්සම්කරු කියා සිටිනවා. සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අතර, එහි වගඋත්තරකරුවන්ට සැප්තැම්බර් 03 වනදා කරුණු දක්වන ලෙසයි නියෝග කර ඇත්තේ.