පාතාලයේ ධනයෙන් ආර්ථික විකෘතියක් මහා භාණ්ඩාගාරයේ මින් පෙර නොවූ විරූ කුප්‍රකට හැකර් කොල්ලය අළුයට ගිනි පුපුරු මෙන් අලුත් පුවත් මවමින් ඉදිරියට ඇදෙමින් තිබේ. ඩොලර් මිලියන 2.5 ක් භාණ්ඩාගාරයට අහිමි කළ මෙම සිදුවීමේ බොහෝ තොරතුරු මුදල් කාරක සභාව හමුවේ ද අනාවරණය වෙමින් තිබේ. මේ ගෙවීම් සිදු…
පාතාලයේ ධනයෙන් ආර්ථික විකෘතියක්
මහා භාණ්ඩාගාරයේ මින් පෙර නොවූ විරූ කුප්‍රකට හැකර් කොල්ලය අළුයට ගිනි පුපුරු මෙන් අලුත් පුවත් මවමින් ඉදිරියට ඇදෙමින් තිබේ. ඩොලර් මිලියන 2.5 ක් භාණ්ඩාගාරයට අහිමි කළ මෙම සිදුවීමේ බොහෝ තොරතුරු මුදල් කාරක සභාව හමුවේ ද අනාවරණය වෙමින් තිබේ. මේ ගෙවීම් සිදුකිරීම ආරම්භ වී ඇත්තේ රාජ්‍ය ණය කළමනාකරණ වගකීම මුළුමනින්ම මුදල් අමාත්‍යාශය යටතේ අලුතින් ස්ථාපනය කළ, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට පැවරීමට පෙරය. ඒ අවස්ථාවේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ මෙහෙයුම් සිදු වූයේ මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය යන දෙකම එකාබද්ධවය. ඒ බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම විසින් හැකර් කොල්ලයේ වගකීම ගැන ඉකුත් අප්‍රේල් මාසයේ මුදල් අමාත්‍යාංශයේ පැවැත් වූ මාධ්‍ය හමුවේ දී ද කියා සිටියේය. එසේ ඒකාබද්ධව කටයුතු කරමින් සිටියදී මේ සිදුවීම සිදුව ඇත්නම් බැලූ බැල්මට මූලික වශයෙන් අපට සිතෙන්නේ මේ සිදුවීමට භාණ්ඩාගාරයේ මෙන්ම මහ බැංකුවේ ද වගකීමක් ඇති බවයි. මේ මහජන මුදල් අහිමි වීමේ සිදුවීමට වැඩි වගකීම ඉකුත් අප්‍රේල් මාසයේ මුදල් අමාත්‍යාංශයේ පැවැත් වූ මාධ්‍ය හමුවේ දී ද කියා සිටියේය. එසේ එකාබද්ධව කටයුතු කරමින් සිටියදී මේ සිදුවීම සිදුව ඇත්නම් බැලූ බැල්මට මූලික වශයෙන් අපට සිතෙන්නේ මේ සිදුවීමට භාණ්ඩාගාරයේ මෙන්ම මහ බැංකුවේ ද වගකීමක් ඇති බවයි. මේ මහජන මුදල් අහිමි වීමේ සිදුවීමට වැඩි වගකීම කාටද, අඩු වගකීම කාටද යන්න නම් අප දන්නේ ඇත. දැන් පෙනෙන්නට තිබෙන්නේ භාණ්ඩාගාරය මෙන්ම මහ බැංකුව ද මේ සිදුවීමේ වගකීම නිසි ලෙස භාර ගන්නවා වෙනුවට, ඒ පැත්තට මේ පැත්තට බෝලය පාස් කරමින් වගකීමෙන් මිදීමට උත්සහ කරමින් සිටින බවකි. කෙසේ හෝ මේ මුදල් අහිමි වූ ගෙවීම් සිදුව ඇත්තේ භාණ්ඩාගාරයට මුදාහැර සිටි මහ බැංකුවේ නිලධාරීන් ද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට අනුයුක්තව සිටියදීම බව ද අපට අමතක කළ නොහැකිය.
මේ හැකර් කොල්ලයේ වගකීම ගැන මුදල් කාරක සභාව තුළ තමන්ගේ පැත්තෙන්, මේ බෝල පාස් කර ගැනීම කවර ලෙස මේ දෙපාර්ශ්වය විසින් සිදුකර ගනිමින් සිටියත් අවසානයේ සිදුවනු ඇත්තේ කුමක් ද? මෙහි බර (මූල්‍යමය පාඩුව) මේ රටේ පොදු ජනයා පිට පැටවීමයි. ඇතැම් ජනයා නම් මේ ගැන කේන්තියෙන් මෙන් අපට කියා සිටියේ මෙතෙක් සිදු වූ වංචා හා දූෂණවල බර දැරුවා මෙන්ම අපි මේ පාඩුවත් දරන්නම්, එහෙත් මේ සිදුවීම ගැන එකී නොකී මෙකී පරීක්ෂණ සිදු කරමින් කල් මරමින්, එහි වැය බරත් පොදු ජනයා මත පැටවීමෙන් වළකින ලෙසයි. ඒ කතාවට අනුව එක අතකට අපට ද ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමට සහ ආචාර්ය නන්දලාල් වීරසිංහට කීමට සිදුවන්නේ ඔබලා ඔය සකස් කරන වාර්තාවල කඩදාසි සහ තීන්තවල වැය බරත් ඔය හැකර් කොල්ලයෙන් අහිමි වූ මුදලටම එකතු වී මහජනයා පිටම තවත් බර පැටවෙනු ඇති බවයි. එදා මෙදා තුර මේ රටේ වංචා හා දූෂණ ගැන සිදු වූ බොහෝ විමර්ශන හා පරීක්ෂණ ක්‍රියාවලීන් ගැන මේ රටේ ජනයාට හොඳට හුරු පුරුදුය. පසුගිය විවිධ ආණ්ඩු යටතේ ජනාධිපති කොමිෂන් සභා නම් කීයක් පත් කළා ද ? ඒවා නඩත්තුවට තවත් කෙතරම් නම් මහජන මුදලක් වැය වන්නට ඇති ද? අවසානයේ බොහෝ විට සිදුවූයේ විවිධ වංචා හා දූෂණවලින් සිදු වූ පාඩුවට (එම අගයට) අදාළ විමර්ශන හා පරීක්ෂණ ක්‍රියාවලීන් සඳහා වැය කළ වියදමත් එකතු වී මහජනයා වෙත වැඩි බරක් පැටවීමයි. අප මේ කියන්නේ වංචා හා දූෂණ හෝ මෙවැනි හැකර් සිදුවීම් ගැන විමර්ශන හෝ පරීක්ෂණ සිදු නොකළ යුතු බව නොවේ. එහෙත් අප ප්‍රශ්න කරන්නේ මේ භාණ්ඩාගාර කොල්ලය ගැන ඔය කියන විමර්ශන හෝ පරීක්ෂණ ක්‍රියාවලීන් හරහා භාණ්ඩාගාරයට අහිමි වූ එක ඩොලරයක් හෝ නැවත සොයාගත හැකි ද යන්නයි. ඒ ගැනත් මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ ඔය කියන වාර්තාවල සඳහනක් තිබේ ද යන්න ගැන හර්ෂණ සූරියප්පෙරුමගෙන් සහ ආචාර්ය නන්දලාල් වීරසිංහගෙන් අපි මේ රටේ අගතියට පත් ජනයා වෙනුවෙන් ප්‍රශ්න කර සිටිමු.
මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් හැකර්වරයෙක් අතට පත් වූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද වාර්තාවක් සකස් කර එය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට භාර දී ඇත. එසේම මීට පෙර මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් මහා භාණ්ඩාගාරය පැත්තෙන් ද වාර්තාවක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර තිබිණි. මේ ගැන මාධ්‍ය හරහා දැනටමත් මේ රටේ මහජනයාට සන්නිවේදනය වී තිබේ.
මින් මුලින් ඉදිරිපත් වූ භාණ්ඩාගාරයේ වාර්තාව ගැන මාධ්‍යයට අදහස් දක්වමින් රජයේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා තිබුණේ භාණ්ඩාගාරයේ වාර්තාවට අනුව මේ හැකර් සිදුවීමේ සැලකිය යුතු වගකීමක් ශ්‍රී ලංකා මහ බැංකුවට ද තිබෙන බවයි. එහෙත් අපට දැන ගැනීමට ඇති පරිදි එයට මහ බැංකුව එකඟ වී නැත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් මුදල් කාරක සභාවට පවසා ඇත්තේ භාණ්ඩාගාරයේ වාර්තාවේ සඳහන් කරුණු අධ්‍යයනය කළ යුතු බවයි. ඒ අනුව සතියක් ඇතුළත ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් කාරක සභාව විසින් මහ බැංකුවට ද දැනුම් දී ඇත. ඉකුත් ජුනි 23 වැනිදා රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට මහ බැංකුව සකස් කළ (පිළිතුරු) වාර්තාව ද ඉදිරිපත් කර ඇත. මේවායේ ඇතුළත්ව ඇති කරුණු මොනවා ද යන්න ගැන අප නම් දන්නේ නැත. ඒ නිසා මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාට අප කියන්නේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ආචාර්ය නන්දලාල් වීරසිංහ යන දෙදෙනා විසින් මුදල් කාරක සභාවට ලබා දුන් වාර්තා දෙකම මේ රටේ මහජනයා වෙනුවෙන් ප්‍රසිද්ධ කරන ලෙසයි. ඒවා ඒ අයට රහසිගත විය හැකි වුවත් ඒවා මේ රටේ ජනයාට රහසිගත විය යුතු නැත. හැකර් සිදුවීම නිසා අහිමි වූයේ මහජන මුදල් නම් සහ ඒ සඳහා වගකිව යුත්තේ කවු ද යන්න ගැන සහ එසේම හරියටම මෙහි සිදුව ඇත්තේ කුමක් ද යන්න ගැන මේ රටේ මහජනයා දැනගත යුතුමය. එසේම එම වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කර ඒවා පොදු ලියැවිලි බවට පත් කරන ලෙස මේ රටේ මහජනයා වෙනුවෙන් අපි කියා සිටිමු.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්ව ඇත. එම නිවේදනයට අනුව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළ වාර්තා දෙකම සලකා බලා අවසන් වාර්තාවක් සකස් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත. එහෙත් එම අවසන් වාර්තාවත් සමග මුදල් කාරක සහාවට ඉදිරිපත් කළ මුල් වාර්තා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් එය වඩාත්ම සුදුසු බව ද අපගේ අදහසයි.
රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දුන් මේ වාර්තාව පිළිබඳ පසුගිය (23දා) රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡා කර ඇත. මේ සිදුවීම ගැන පසුගිය ජුනි 08 වැනිදා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ලබා දුන් වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ඇතුළත් වාර්තාවක් මෙලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කොට ඇති බව පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය නිකුත් කළ පෙර සඳහන් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්ව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එදින (23දා) රැස්ව තිබූ අතර මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන්ට අමතරව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිට ඇත. මේ සිදුවීම ගැන මුදල් කාරක සභාවේ, මෙම ක්‍රියාවලිය නොවන්නට මේ තරමින් හෝ මහජනයාට තොරතුරු දැනගත නොහැකි වනු ඇත. ඒ නිසා මේ සිදුවීම ගැන ‘රාජ්‍ය මූල්‍ය’ පැත්තෙන් හෝ රජයේ මුදල් කාරක සභාව විසින් විමර්ශනය කිරීම මහජනයාගේ පැත්තෙන් හෝ ප්‍රයෝජනවත් කටයුත්තක් බව කිව යුතු වේ.
මූල්‍ය අරමුදලේ ණය පහසුකම් වැඩසටහනටත් බලපෑමක්
මේ සිදුවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට ද බලපෑමක් සිදුකර ඇත. මෙය ඔය කියන පරිදි සයිබර් ප්‍රහාරයක් ද එසේත් නැත්නම් මූල්‍ය වංචාවක් ද කියා අප හරියටම දන්නේ නැත. එය විමර්ශන ක්‍රියාවලියෙන් අනාවරණය වනු ඇතැයි අපි බලා සිටිමු. කෙසේ වෙතත් හර්ෂණ සූරියප්පෙරුමගේ පෙර කී මාධ්‍ය හමුවේ දී ඔහු මේ සිදුවීම හැඳින්වූයේ සයිබර් අපරාධයක් ලෙසය. කවරක් වුවත් විශාල මුදල් අහිමි වීමක් සිදුව ඇත. මේ හේතුවෙන් අලුතින් ණය පැහැර හැරීමක් බාහිර ඇති නොකිරීමේ කොන්දේසිය උල්ලංඝනය වී ඇත. ඒ නිසා මේ සිදුවීම නිසා තාක්ෂණික ණය පැහැර හැරීමක් සිදුව ඇත. එසේ වුවද, ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඊට අදාළ නිදහස් කිරීමක් ලබා දෙමින් (එනම් ණය පැහැර හැරීමක් සිදු නොවූවා ලෙස සලකමින්) අයිඑම්එෆ් ණය වැඩසටහනේ සමාලෝචනය අනුමත කර ඇත.
ඔස්ට්‍රේලියානු ආයතනයකට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වැරදි ගිණුමකට ගෙවීම නිසා මෙම ගැටලුව මතු වූ අතර, එමගින් අයිඑම්එෆ් වැඩසටහනට සිදු වූ බලපෑම මෙසේ සඳහන් කළ හැකිය. මෙම සිදුවීම මධ්‍යයේ වුවද, 2026 මැයි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව නිම කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 695ක ණය වාරිකය (වාරික දෙකක් එකට) නිදහස් කිරීමට පියවර ගත්තේය. අයිඑම්එෆ් ණය සමාලෝචනය අනුමත වුව ද අයිඑම්එෆ් හි අඛණ්ඩ ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායකය මෙම සිදුවීම හේතුවෙන් තාවකාලිකව බිඳ වැටී ඇත. එහෙත් ඒ සඳහා අයිඑම්එෆ් එක නිදහස් කිරීමක් ලබාදීමේ දී එය පිළිගැනීම සඳහා, මෙම අතපසුවීම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් වීම සහ රජය වහාම මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර නිවැරදි කිරීමේ පියවර
ගැනීම යන කරුණු සලකා ඇත. ආයතනික ආරක්ෂාව පිළිබඳ අවධානය මෙහිදී යොමු කළ යුතු බවත්, ඒ අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සයිබර් ආරක්ෂණ ක්‍රමවේද හා මූල්‍ය පාලන පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයත් මූල්‍ය අරමුදල මගින් අවධානයට යොමු කර ඇත. එහෙත් මේ කිසිම හේතුවක් නිසා මේ පාඩුවේ බර මහජනයා පිට පැටවීම වළක්වා ගත හැකි ද ?
හරක් කටාගෙන් අල්ලස් ගැනීම
පාතාල නායකයකු බේරාගැනීම සඳහා රුපියල් කෝටි 12ක (මිලියන 120ක) දැවැන්ත අල්ලසක් ලබා ගැනීමේ සිදුවීම මේ වන විට සෑම කෙනෙක්ගේම දැඩි අවධානයට ලක්ව ඇති ඉමහත් ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇත. එනම් මේ සිදුවීම නිසා හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ හොරණ සමගි ජනබලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ යන දෙදෙනා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, ඒ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘හරක් කටා’ නැමැත්තාගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ යන අය පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කරදීම සඳහාත්, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් නිදහස් කරදීම සඳහාත් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවට තොරතුරු ඉදිරිපත්ව ඇත. මෙම කටයුතු සඳහා 2023 වර්ෂයේ දී ඩුබායි රාජ්‍යයේදී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් රුපියල් කෝටි 50ක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂට සහ චරිත් අබේසිංහට චෝදනා එල්ලවී ඇත. මේ දෙදෙනා සහ තවත් අයෙක් මේ සිදුවීම නිසා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කෙසේ හෝ මේ චෝදනාවල ඇත්ත නැත්ත අප දන්නේ නැත. ඒ ගැන වැඩි විස්තර අපට මෙහි අධිකරණ ක්‍රියාවලිය හරහා දැනගත හැකි වනු ඇත.
පොදුවේ මේ ගැන ආර්ථිකමය පැත්තෙන් බලන්නේ නම් මෙය හුදෙක් නීතිය හා සාමය පිළිබඳ ගැටලුවක් පමණක් නොවේ. එය රටක සමස්ත ආර්ථික පද්ධතියේ පවතින බරපතළ ව්‍යුහාත්මක බිඳවැටීමක් සහ ‘කළු ආර්ථිකයක’ ප්‍රබල ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන්නකි. ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල, මෙවැනි සිදුවීම් රටක දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වයට සහ සංවර්ධනයට අහිතකරය. මෙම සිදුවීමෙන් හෙළි වන තවත් ආර්ථික යථාර්ථයක් නම්, විධිමත් බැංකු පද්ධතියෙන් බැහැරව විශාල වශයෙන් ‘කළු සල්ලි’ රට තුළ සංසරණය වීමට ද මේ හරහා ඉඩක් ඇති වන බවයි.
මෙවැනි එක් මෙහෙයුමකින් පමණක් රුපියල් කෝටි 12ක අති විශාල මුදලක් ක්ෂණිකව උපදවා ගැනීමට පාතාලය හරහා ආණ්ඩුවට සම්බන්ධ අයට හැකියාවක් ඇති බවට මෙමගින් පෙනී යයි. එයින් පෙනී යන තවත් දෙයක් වන්නේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම් සහ අවි ආයුධ වෙළෙඳාම හරහා උපයන මුදල් ප්‍රමාණය කෙතරම් දැවැන්ත ද යන්නයි. මෙම මුදල් මත රජයට බදු ආදායම් අහිමි වන අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදිතයට ධනාත්මක දායකත්වයක් නොදක්වන, ආර්ථිකය විකෘති කරන මූල්‍ය ප්‍රවාහයක් බව ද අපට කිව හැකිය.
රටක ආර්ථික වර්ධනයට ශක්තිමත් ආයතනික ව්‍යුහය සහ නීතියේ ආධිපත්‍යයක් පැවතීම ද ඉතාමත් වැදගත්ය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන හෝ පරිපාලන ව්‍යුහයන් මෙවැනි දැවැන්ත අල්ලස් හමුවේ දූෂණයට ලක්වන විට, දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් තුළ රට කෙරෙහි පවතින විශ්වාසයට ද සැලකිය යුතු ලෙස හානියක් සිදු වේ. රටේ වංචාව හා දූෂණය ඉහළ යන විට, ව්‍යාපාර කිරීමේ පිරිවැය ද ඉහළ යයි. මේ සම්බන්ධ අවදානම වැඩි රටවල් වෙත විදේශීය සෘජු ආයෝජන ගලා නොඑන අතර, පවතින ව්‍යාපාර පවා රටින් පිටතට ඇදී යෑමට මෙය හේතුවක් වේ. නිසි වෙහෙසකින් තොරව නීතිවිරෝධී ලෙස උපයන මෙවැනි බිලියන ගණනක මුදල් වෙළෙඳපොළට පැමිණෙන්නේ බොහෝ විට දේපළ මිලදී ගැනීම් සහ වාහන ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ පරිභෝජනය හරහාය. මෙයින් කෘතිම ඉල්ලුමක් නිර්මාණය වී භාණ්ඩ හා සේවා මිල මෙන්ම නිවාස හා ඉඩම් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමට ද බලපෑමක් ඇතිවෙන බව අපට තේරුම්ගත හැකිය. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ කුමක් ද ? මේ සම්බන්ධයෙන් කිසිදු වරදක් නොකළ සාමාන්‍ය මහජනතාවට ඉහළ ජීවන වියදමකින් සහ උද්ධමනයකින් පීඩා විඳීමට සිදු වීමයි. මෙවැනි පාතාලයේ ධන සංකේන්ද්‍රණය සාමාන්‍ය ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය සූරාකෑමක් බවට පත්වේ. අල්ලස් හා දූෂණය හේතුවෙන් අපරාධකරුවන් නිදහස් වන විට, අපරාධ මර්දනය සඳහා රජයට වැය කිරීමට සිදුවන පිරිවැය ද තව තවත් ඉහළ යයි. එවිට පොලිසිය, බන්ධනාගාර සහ අධිකරණ පද්ධතිය නඩත්තු කිරීමට මහජන බදු මුදලින් විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. මෙම මුදල් සෞඛ්‍ය, අධ්‍යාපනය හෝ යටිතල පහසුකම් සංවර්ධනය වැනි ඵලදායී අංශ සඳහා යෙදවීමට තිබූ සම්පත් වන අතර, අපරාධ ආර්ථිකය නිසා එම අවස්ථාවන් රටට අහිමි වී යන බව ද අපට තේරුම්ගත හැකිය. අවසන් ලෙස සටහන් කළ යුතු වන්නේ, කෝටි 12ක අල්ලස් සිදුවීම හුදෙක් හුදකලා සිදුවීමක් නොව, සමස්ත ජාතික ආර්ථිකයේම පැතිර පවතින පිළිකාවක ලක්ෂණයක් බවයි. මෙවැනි තත්ත්වයන් දිගින් දිගටම පැවතුනහොත්, රට ගමන් කරනු ඇත්තේ ‘අසාර්ථක රාජ්‍යයක්’ කරාය. එබැවින් මූල්‍ය විශුද්ධිකරණ පනත් දැඩිව ක්‍රියාත්මක කිරීම, අල්ලස් හා දූෂණ මර්දන ආයතන ස්වාධීන කිරීම සහ කළු සල්ලි සංසරණය වන මාර්ග අවහිර කිරීම හරහා මිස රටට තිරසාර ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කළ නොහැකි බව මෙම සිදුවීම අපට පසක් කර දෙන බව ද කිව යුතුය.
ශ්‍යාම් නුවන් ගනේවත්තshyam.divaina@gmail.com

