වසර විස්සකට ආසන්න කාලයක් ගාසා තීරයේ පවත්වාගෙන ගිය සිවිල් පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම විසුරුවා හැරීමට හමාස් සංවිධානය තීරණය කර තිබෙනවා. අමෙරිකාවේ මැදිහත් වීමෙන් සකස් කෙරුණු විශේෂ සාම සැලැස්මකට අනුව මෙම තීරණය ගත් බවයි හමාස් සංවිධානය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. ඒ අනුව ගා…
වසර විස්සකට ආසන්න කාලයක් ගාසා තීරයේ පවත්වාගෙන ගිය සිවිල් පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම විසුරුවා හැරීමට හමාස් සංවිධානය තීරණය කර තිබෙනවා. අමෙරිකාවේ මැදිහත් වීමෙන් සකස් කෙරුණු විශේෂ සාම සැලැස්මකට අනුව මෙම තීරණය ගත් බවයි හමාස් සංවිධානය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. ඒ අනුව ගාසා තීරයේ දෛනික සිවිල් පාලන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා, විශේෂඥයින්ගෙන් සැදුම්ලත් අන්තර්කාලීන කමිටුවක් වෙත බලය පැවරීමට තමන් සූදානම් බව ද හමාස් සංවිධානය පවසනවා. “නැෂනල් කමිටි ෆෝ ද ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆ් ගාසා” නැතහොත් NCAG නමින් ජාතික කමිටුවක් ඒ සදහා ස්ථාපිත කරන බවයි හමාස් සංවිධානය වැඩිදුරටත් පවසන්නේ. මේ පිළිබද අදහස් දක්වමින් හමාස් මාධ්‍ය ප්‍රකාශක හාසම් කාසෙම් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ඊශ්‍රායලය විසින් සිදුකරන ආක්‍රමණ සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම් සාධාරණීකරණය කිරීමට ඔවුන් දක්වන හේතු සම්පූර්ණයෙන්ම නිශේධනය කිරීමට තමන් මෙම පියවර ගත් බවයි. මේ අතර යුද ගැටුම් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ගාසා වැසියන්ට මානුෂීය ආධාර බෙදාහැරීම වේගවත් කිරීම සහ ඇණහිට ඇති සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණක් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. කෙසේවෙතත්, හමාස් සංවිධානය සතු අවි ආයුධ බිම තැබිය යුතු බවට ඇමරිකාව සහ ඊශ්‍රායලය පනවා ඇති ප්‍රධාන කොන්දේසිය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නැහැ. එමෙන්ම, මෙම නව පාලන කමිටුවට ගාසා තීරයට ඇතුළු වීම සඳහා ඊශ්‍රායල බලධාරීන් මෙතෙක් අවසර ලබා දී නොමැති වීම හේතුවෙන් පරිපාලන සංක්‍රාන්ති ක්‍රියාවලිය තවදුරටත් සංකීර්ණ වී තිබෙනවා. දේශපාලන විචාරකයින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ හමාස් සංවිධානයේ මෙම පසුබැසීම දෛනික සිවිල් පාලනයෙන් තාවකාලිකව ඉවත් වීමක් මිස, ඔවුන්ගේ මිලිටරි ශක්තිය හෝ දේශපාලන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමක් නොවන බවයි.

