රේගු බදු හා ගුදම් ගාස්තු අයකර ගැනීමටමුදලක් ඉතිරි වුණොත් ආනයනකරුවන්ට දෙනවාරේගුව කියයි මාස තුනකට අධික කාලයක් තිස්සේ හම්බන්තොට වරායේ ගාල් කර ඇති ආනයනය කරන ලද මුදා නොගත් වාහන වෙන්දේසියේ හෝ ටෙන්ඩර් මාර්ගයෙන් විකුණා, රේගු බදු සහ ගුදම් ගාස්තු අයකර ගැනීමට කටයුතු කරන බව, රේගුව ඊයේ අනාවරණ…

රේගු බදු හා ගුදම් ගාස්තු අයකර ගැනීමටමුදලක් ඉතිරි වුණොත් ආනයනකරුවන්ට දෙනවාරේගුව කියයි

මාස තුනකට අධික කාලයක් තිස්සේ හම්බන්තොට වරායේ ගාල් කර ඇති ආනයනය කරන ලද මුදා නොගත් වාහන වෙන්දේසියේ හෝ ටෙන්ඩර් මාර්ගයෙන් විකුණා, රේගු බදු සහ ගුදම් ගාස්තු අයකර ගැනීමට කටයුතු කරන බව, රේගුව ඊයේ අනාවරණය කළේය.

රේගු ආඥා පනතේ 109 වගන්තිය යටතේ මෙම පියවර ගන්නා බවත්, මේ පිළිබඳව, ආනයනකරුවන්ට දැනුම් දීමට පියවර ගෙන ඇති බවත් ඊයේ (26 දා) පැවැති මාධ්‍ය හමුවකදී, රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසීය.

වාහන ආනයනයේදී ලැබෙන රේගු බදු ආදායමේ පහළ යෑමක් වාර්තා වන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.

එසේ වුවත්, රේගුවේ ඉලක්කය වන රුපියල් බිලියන 190.2 න් බිලියන 176.7 ක් මේ වනවිට සපුරා ඇති බවත්, ඉදිරි දින කීපයේදී ඉතිරි රුපියල් බිලියන 13 ද සපුරා ගැනීමට හැකිවනු ඇති බවත් හෙතෙම කීය.

“වාහනවලින් ලැබෙන රේගු බදු ආදායමේ අඩුවීමක් මේ මාසයේ දක්නට තිබුණා. අපි ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන, අධිභාරය මේ වර්ෂය අවසාන වනතුරු දීර්ඝ කිරීමට තීරණය කළා. මේ අනුව නැවතත් වාහන ආනයනය සාමාන්‍ය තත්ත්වයට හෝ යම් ඉහළ යෑමකට යන ආකාරය අපිට ඉදිරියේදී දක්නට ලැබෙයි.

විනිමය අනුපාතය ඉහළ ගොස් තිබීමත් වාහනවල මිලට බලපෑමක් ඇතිව තිබෙනවා. වාහන දහසකට වැඩි ප්‍රමාණයක්, මාස තුනක පමණ කාලයක් මුදා නොගෙන හම්බන්තොට වරායේ තිබෙනවා. රේගු ආඥා පනතේ 109 වගන්තිය යටතේ මෙම වාහන වෙන්දේසියේ හෝ ටෙන්ඩර් මාර්ගයෙන් විකුණා, එම මුදල් වාහනවලට අදාළ රේගු බද්ද අයකර ගැනීමටත්, ඊට පසු අදාළ වරායන්ට ගුදම් ගාස්තු ගෙවීමේ කටයුතු ආරම්භ කිරීමටත් අපි තීරණය කළා.

මින් මුදලක් ඉතිරිව පවතිනවා නම් ආනයනකරුට එය ලබාදීමටත්, අපි ඒ වගන්ති යටතේ ක්‍රියා කරනවා.

මේ පිළිබඳව ආනයනකරුවන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා වැඩිදුරටත් කියා සිටියේය.සුජීව තත්සර