ලලියා කුදලාගෙන එනකොට පද්මේ රිමාන්ඩ්… බ්ලඩ් සුගර් 400ත් පැනලා… දැනට රතු වරෙන්තුකරුවන් 16ක් ගෙනවිත්…. හංවැල්ල අවට ජනතාව සතුටත් සමරලා…. බස් ලලියා දැන් කුදලාගෙන ඇවිත්ය. මේ කුදලාගෙන පැමිණීම හංවැල්ලේ මිනිස්සුන්ට මඟුල් කන සතුටක් උපදවා ඇත්තේය. කාලකණ්ණි මිනී මරුවකු නිසා ව්‍යාපාර අත්හැර ද…

ලලියා කුදලාගෙන එනකොට පද්මේ රිමාන්ඩ්…

බ්ලඩ් සුගර් 400ත් පැනලා…

දැනට රතු වරෙන්තුකරුවන් 16ක් ගෙනවිත්….

හංවැල්ල අවට ජනතාව සතුටත් සමරලා….

බස් ලලියා දැන් කුදලාගෙන ඇවිත්ය. මේ කුදලාගෙන පැමිණීම හංවැල්ලේ මිනිස්සුන්ට මඟුල් කන සතුටක් උපදවා ඇත්තේය. කාලකණ්ණි මිනී මරුවකු නිසා ව්‍යාපාර අත්හැර දමා, ගෙවල් දොරවල් අත්හැර පලා ගිය මිනිස්සු හංවැල්ලේ සිටියහ. අරාජික වූ කාලකණ්ණි රටක ඇත්ත තත්ත්වය ඒ තරම් ගර්හිත වූයේය.

මේ මිනීමරුවා අත්අඩංගුවට ගන්නේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 11 වැනිදාය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයත්, රාජ්‍ය බුද්ධි සේවයත් ඩුබායි පොලිසිය සමග කළ ඒකාබද්ධ මෙහෙයුමකිනි. මේ අත්අඩංගුවට ගැනීම සැල වූ වහාම හංවැල්ල, මීගොඩ, පහළගම අවට මිනිස්සු බැනර් දමා ආණ්ඩුවට ස්තුති කරමින් රතිඤ්ඤා පත්තු කළහ. මිනිස්සු හිටියේ ඒ තරම් පීඩනයකිනි. ඒ සතුට දැන් සම්පූර්ණය.

ඩුබායි රාජ්‍යයේ සිට බස් ලලියා කුදලාගෙන ආවේ පසුගිය අඟහරුවාදා (25දා) උදෑසනය. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශගේ ප්‍රධානත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 21 ලලියාව ඇදගෙන එන්නට ඩුබායි වෙත ගොස් තිබිණි.

ඩුබායි පොලිසිය නිල වශයෙන්ම ලලියා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත භාර දෙන්නේ පසුගිය 24 වැනිදා ය. අනතුරුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් අඟහරුවාදා පෙ.ව. 5.20ට පමණ කටුනායක ගුවන්තොටුපළ ඌ කුදලාගෙන පැමිණ තිබිණි. කටුනායක දී බස් ලලියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් සිය භාරයට ගත්තේය. මේ වනවිට බස් ලලියා ඉන්නේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) භාරයේය. දැන් ඌ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකය.

පාතාල අපරාධකරුවන්ටත් උන් සමග එක ගෙයි කෑ දේශපාලකයන් ඇතුළු බලවත් පිරිස්වලටත් දැන් මුහුණ දෙන්නට සිදුවී ඇත්තේ හීනෙන්වත් නොහිතූ ඉරණමකටය. බස් ලලියා කුදලාගෙන එන විට කෙහෙල්බද්දර පද්මේ සමග පානදුර කුඩු නිලංග රිමාන්ඩ් එකේය. පද්මේ ගේ දුරකථන 08ක් විශ්ලේෂණයේ දී දේශපාලකයන් 09 දෙනෙක්, නිලියන් සහ නිරූපිකාවන් 07 දෙනෙක්, සහ අපරාධකරුවන් 20 දෙනකුගේ සංවාද, වීඩියෝ පට ඇතුළු සංවේදී විස්තර අනාවරණය කරගත් බව විමර්ශන අංශ 25 වැනිදා උසාවියට පැවසුවේය. ඒ විමර්ශන මොන ආකරයෙන් කෙළවර වනු ඇතිදැයි දෙවියන්වත් දන්නවා දැයි නොදනිමු.

මේ වසර තුළ රටට රතු වරෙන්තුකරුවන් 16 දෙනෙක් රැගෙන විත් ඇති අයුරු පොලිසිය කියයි. බස් ලලියා කුදලාගෙන එන්නට පෙර රටට ගෙනාවේ සමිට්පුර චතූ නැමැති අපරාධකරුවාය. මේ වනවිට රටේ වැඩ දැමූ කොණ්ඩ රංජි, ඇල්ටො ධර්මේ වගේම වීථි මට්ටමේ දී මෑත කාලයේ තුප්පහිම අපරාධ කළ කංජිපානිගේ ගෝලයා වූ වනාතේ චතූ ද ඩුබායි පොලිස් අත්අඩංගුවේය. උන් රටට පටවන දිනය වැඩි ඈතක නොවන බව විමර්ශන අංශ පවසයි.

බස් ලලියා කවුද?

බස් ලලිත්

ලලිත් කන්නංගර ඇඹිලිපිටියේ පදිංචිකරුවෙකි. ඔහු හංවැල්ලට එන්නේ ඇඹිලිපිටියේ සිදුවී තිබුණු කාන්තා අපයෝජනයක් සම්බන්ධව පත්තු වීමෙන් පසු ගමේ ඉන්නට බැරිවීම නිසාය. හංවැල්ලට පැමිණෙන මේ හාදයාට හංවැල්ලේ දී හමුවන ව්‍යාපාරිකයෙක් වූයේය. ඔහු වජිර නිශාන්ත නැමැත්තෙකි.

කන්න බොන්න ඉන්න හිටින්න දී හංවැල්ලේ මේ හාදයාව නවත්වා ගන්නේ වජිර නිශාන්තය. ඔහුගේ මවගේ නිවසේ මේකාව නවත්වාගෙන දරුවෙක් බලා ගන්නවා සේ වජිර ඔහුව බලා ගත්තේය. පසුව රස්සාව ලෙස හංවැල්ල කොළඹ බස් එකක කොන්දොස්තර වැඩේ ලලිත් කන්නංගරට සොයා දී ඊට අවශ්‍ය බලපත්‍රය සකස් කර දෙන්නේත් මේ පුද්ගලයා ය. ලලිත් කන්නංගර බස් ලලියා වන්නේ ඒ සමගය.

බස් ලලියා බස් කොන්දොස්තර වැඩේ කරන ගමන් ගංජා ජාවාරමට බැස්සේය. අනතුරුව ඒ ඔස්සේ සමයන්ගේ පාතාල ජාලයට එකතු වුණේය. සමයං මෙන්ම ඌරු ජුවා ද ඝාතනය වුණ පසු ඒ ජාලයේ වැඩේ අතට ගන්නේ බස් ලලියා ය. ඌ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නොනැවතී කප්පම් ගැනීමට පටන් ගත්තේය. කොන්ත්‍රාත් ඝාතන ඇරඹුවේය. මේ සමගම පොලිසියට ඔහුව අනාවරණය විය. බස් ලලියා කරන්නේ ඩුබායි වෙත පැනගැනීමය.

ඩුබායි රාජ්‍යයට පැනගිය ඔහු එතැන් සිට සිය අනුචර කාලකණ්ණින් යොදවා මෙරට කප්පම් ගැනීම්, මනුෂ්‍ය ඝාතන සහ ඉඩම් කොල්ලකෑම් මෙහෙයවීය.

මොහුගේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරමට ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන්ගේ සහයෝගයත් ලැබිණි. නීතිඥවරයෙකු මෙන්ම පොලිස් පරීක්ෂක සංගමයේ හිටපු සභාපතිවරයකු ද වූ රටම දත් පොලිස් ප්‍රධානියෙකුට අයත් තලංගම පිහිටි ඉඩමක් ද බස් ලලියා කොල්ල කන්නට හැදුවේය. ඉඩම බලහත්කාරයෙන් අත්පත් කරගෙන හොර ඔප්පු සකස් කර අත්පත් කරගත් තවත් ඉඩම්ගණනාවක හිමිකරුවන්ට ඩුබායි සිට මරණ තර්ජනය කරමින් නිහඬ කිරීමට බස් ලලියාට හැකි විය.

මනුෂ්‍ය ඝාතන 8ක් සහ කුලී ඝාතන මෙහෙයුම්

ඩුබායි සිට කුලී ඝාතකයන් යොදවා මොහු විසින් සිදුකළ ඝාතන සංඛ්‍යාව 8කි.

මේ පාදඩයා කළ සාහසිකම අපරාධය වන්නේ තමන්ට කන්න බොන්න දී දරුවෙක් සේ රැක බලාගත් වජිර නිශාන්තව වෙඩි තබා ඝාතනය කිරීමය. 2024 සැප්තැම්බර් මාසයේ දී ඔහු වජිර නිශාන්තව ඝාතනය කිරීමය. තමන්ව යන එන මං නැතිව සිටිය දී රැකබලාගත් පියෙක් සම මේ පුද්ගලයාව ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ කාලකන්ණිකම ගැන මිනිස්සු වැටහීමක් ලැබූහ.

ඩුබායි සිට ඔහු විසින් කුලී ඝාතකයන් යොදා ඝාතන රැසක් මෙහෙයවා තිබුණු අතර, වඩාත් කතාබහට සහ සමාජ අවධානයට යොමු වූයේ 2022 වසරේ දෙසැම්බර් 18 වැනිදා හංවැල්ල නගරයේ හරස් පාරේ පිහිටි ආපන ශාලාවක හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමය. ‘බූරුමූණා’ නමැති කුලී ඝාතකයා යොදා එම ඝාතනය කරවා තිබුණේ කප්පම් සිදුවීමක් මුල් කරගෙනය. ඒ අපරාධය සීසීටීවී දර්ශනයක සටහන්ව තිබිණි. ඒ දැකුම රටම කම්පනයට පත් කළේය.

2025 අගෝස්තු 12 වන දින මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුවට වෙඩි තබා ඝාතනය කිරීම ද ලලිත් කන්නන්ගර විසින් ඩුබායි සිට මෙහෙයවූවක් බව විමර්ශනවලින් අනාවරණය වී තිබුණි.

2025 දී චින්තක කුඩලිගම යන අය ඝාතනය කිරීමත්, කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී දෙහිවල රුවන්ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමත් මොහුගේ අපරාධ ලැයිස්තුවට ඇතුළත් වේ.

කළ අපරාධ වැමෑරීම

පද්මේ

මේ වනවිට මේ පඩංගු වීරයා පොලිස් විමර්ශකයන් ඉදිරියේ ගිරවෙක් ලෙස තමන් කළ අපරාධ වමාරමින් සිටින්නේය. තමන්ට යන එන මං නොමැතිව සිටිය දී ඉන්න හිටින්න කන්න බොන්න දී රස්සාවක් හොයා දීමෙන් පසු තමන්ව බලාගත් පුද්ගලයා ඝාතනය කරන්නේ ඔහුගෙනුත් මේ අපතයා කප්පම් ඉල්ලා නුදුන් නිසා බව අනාවරණය වූයේය. පොලිස් විමර්ශකයන්ට ඔහු මේ බව පැවසුවේය.

2025 වසරේ අගෝස්තු 12 වැනිදා මීගොඩ ප්‍රදේශයේ දී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වූ මුදුන්කොටුවගේ දොන් ශාන්ත හෙවත් බතා ඝාතනය කිරීම ඔහුගේ ඝාතන අතර විය. ඔහුව ඝාතනය කළේ ඔහු දෙපැත්ත කෑ නිසා බව බස් ලලියා විමර්ශකයන්ට කීවේය.

ඔහු තමා ඇසුරු කරමින් ව්‍යාපාරිකයන් පස් දෙනෙකුගේ දුරකථන අංක තමන්ට දුන් බවත් අනතුරුව ලබා ගන්නා කප්පම් මුදලින් කොටසක් මේ මන්ත්‍රී ඉල්ලූ බවත් ලලියා කීවේය. එමෙන්ම මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තම ප්‍රතිවිරුද්ධ කල්ලියකටත් මේ දුරකථන අංක ලබා දීම නිසා තමාට හොඳටම තරහා ගිය බව ද බස් ලලියා විමර්ශකයන්ට පවසා තිබිණි. ඒ නිසා ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මරා දැමූ බව හෙතෙම පැවසුවේය.

ලලියා කීවේ තමන්ගේ කප්පම් එකතු කරන්නෙකු ද ඔහු විසින් මරා දැමූ බවය. හේතුව තමන් නියම කළ මුදලට වැඩි මුදලක් මේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගෙන එම තැනැත්තා වැඩිපුර මුදල් ඔහු ළඟ තබා ගැනීමය.

රටම තිගස්වමින් බූරු මූණා ලවා වෙඩි තබා හංවැල්ල ව්‍යාපාරිකයෙක් ඝාතනය කළේ ඝාතනය කළ ව්‍යාපාරිකයා සිය සහෝදරයාව කපා කොටා ඝාතනය කිරීමට බස් ලලියා ගත් උත්සාහයට එරෙහිව නීතිය ඉදිරියට යෑම බව ඔහු පැවසුවේය.

මීට අමතරව මොහු විසින් මෙහෙයවන ලද සහ සම්බන්ධ වූ තවත් ප්‍රධාන ඝාතන හා ප්‍රහාර රැසක් පවතියි:

★ 2021.09.20: නෙලුන්තුඩුව පදිංචි වජිර නැමැත්තාගේ නිවස ඉදිරිපිටදී වෙඩිතබා බරපතළ තුවාල සිදු කිරීම. (අවිස්සාවේල්ල ම/උ බී 4730/21)

★ 2022.10.16: පුද්ගලයන් තිදෙනකුව තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදු කිරීම. (අවිස්සාවේල්ල ම/උ බී 8302/22)

★ මන්නා රොෂාන් සහ ඔහුගේ සොහොයුරා ඝාතනය: පාතාල නායක මංජු හෙවත් මන්නා රොෂාන් ඇතුළු ඔහුගේ ගෝලයෙකු සහ සොහොයුරා ඝාතනය කිරීම. (අවිස්සාවේල්ල ම/උ බී 3578/23)

★ 2025 ජූලි 06: කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ‘දෙහිවල රුවන්’ සහ ‘කොටහැර පොඩ්ඩා’ යන පාතාල කල්ලි සාමාජිකයන්ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම.

ඩුබායි නීතිමය සටන සහ අත්අඩංගුවට පත්වීම

ලලිත් කන්නන්ගර ගැන විමර්ශන පැවැත්වීමේදී ඔහු ඩුබායිහි මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇත්තේ මෙරටදී අත්අඩංගුවට ගත් ඔහුගේ සමීපතමයකුගෙනි. ඒ වන විට මධ්‍යම විමර්ශන කාර්යාංශය ආරම්භ කර මාසයක කාලයක් ගත වී නැතත් එම තොරතුරු ඔස්සේ පොලිස් කණ්ඩායමක් ඩුබායි ගියහ. ගොස් එරට පොලිසිය සමග එක්ව මොහුව මහල් නිවාස සංකීර්ණයකදී අත්අඩංගුවට ගත්තේය. ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයක් (A-5056/6-2023) නිකුත් කර තිබූ බැවින් උදර්පණ නීතියට අනුව ඔහුව පිටුවහල් කිරීමට සූදානම් විය. නමුත් ඊට එරෙහිව ලලිත් කන්නන්ගර එරට අධිකරණයේ නඩුවක් ගොනු කළේය.

තමාට ශ්‍රී ලංකාවට රැගෙන ගියහොත් වෙඩි තබා පොලිසිය මරා දමනු ඇතැයි පවසමින් ඔහු අධිකරණයට පෙන්වා දී ඇත්තේ මාකඳුරේ මධුෂ් ඩුබායි සිට රැගෙන ගොස් ශ්‍රී ලංකාවේදී වෙඩි තබා මරා දැමූ බවය.

මෙම නඩුව දීර්ඝ ලෙස විභාගයට ගත් එරට අධිකරණය අවසානයේදී තීරණය කර ඇත්තේ ඔහුව උදර්පණ නීතිය අනුව පිටුවහල් කිරීමටය. එම තීන්දුවට ඔහු අභියාචනයක් සිදු කර ඇති අතර එහි තීන්දුව පසුගිය සතියේ ලබාදී ඇත්තේ ලලිත් කන්නන්ගර උදර්පණ නීතියට අනුව පිටුවහල් කිරීම සම්බන්ධයෙන් පහළ අධිකරණය ලබාදුන් තීන්දුව තහවුරු කරමිනි.

මෙම නඩුවට මෙරට නීතිපති දෙපාර්තමේන්තුව සහ ඩුබායි නීති අංශ අතර මනා සම්බන්ධයක් තිබී ඇති බවත් තොරතුරු හුවමාරු කිරීම් ඉතා සාර්ථකව සිදුව තිබිණි.

එම අධිකරණ නියෝගයෙන් අනතුරුව ඩුබායි බලධාරීන් නිල වශයෙන් ඒ ගැන මෙරටට දැනුම්දීමෙන් අනතුරුව ලලිත් කන්නන්ගර මෙරටට රැගෙන ආවේය. මෙරටට රැගෙන ආ බස් ලලියා මේ වන විට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් රඳවා ගැනීමේ නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කරමිනි.

මේ වන විට ලලිත් කන්නන්ගර හෙවත් බස් ලලියාගේ වීරකමේ ප්‍රමාණය රටට පෙනෙමින් ඇත. කොතරම් බිය වී සිටින්නේ ද කිවහොත් ඔහුගේ සීනි මට්ටම දැන් 400 දක්වා ඇති බව ආරංචි වන්නේය. ඒ සමගම නොනවත්වා බඩ යන බව ද ආරංචි වී ඇත්තේය. මේ හෙළි වෙමින් ඇත්තේ මිනිස්සුන්ට මරණ බය උපදවා දේපළ අත්පත් කරගත්, ගම්බිම්වලින් පන්නා දැමූ, තමන්ට අවනත නොවන්නන් මරා දැමූ මාර මිනීමරුවෙක් යැයි ලොවට කියන්නට හැදූ අපතයෙකුගේ අභ්‍යන්තරයේ නීච බියගුලු දීන කමය.

අප බලා සිටින්නේ ඉදිරියට එන කාලය ගැනය. නින්දිත කාලකණ්ණි මජරකම සමග අවියක් අතපත් විට මහා වීරයින් වෙන පාතාලයේ පොරවල් කුජීත හිඟනන්නන් වන්නට යන්නේ පැය ගණනක වෙනසකි. උන්ටත් වඩා මේ වනවිට බොකු රත් වී ඇත්තේ උන්ගෙන් යැපුන කාලකණ්ණින්ට බව කිව යුතුය. බස් ලලියා හෙට අනිද්දා වමාරන බොහෝ දේ මේ විමර්ශන ක්‍රියාවලිය වෙනස්ම මගකට ගෙනියනු ඇතැයි විශ්වාස කරමු.

ගයාන් සමරසිංහ