රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බ…
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් චූදිතයින් විසින් කර ඇතැයි කියන වැරදි සැලකිල්ලට ගැනීමේදී දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවත් මහාධිකරණ නියෝගයේ සඳහන් කර තිබෙනවා. විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා. මෙම නඩුව ඉකුත්දා විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ, ජනාධිපති නීතිඥ යූ.ආර්.ද. සිල්වා ඇතුළු නීතිඥවරු මූලික විරෝධතා මතු කරමින් සඳහන් කර සිටියේ සිය සේවාදායකයින්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැමිණිල්ල විසින් එල්ලකර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවයි. විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1)(අ) වගන්තිය යටතේ චෝදනා ඉදිරිපත් කර තිබුණද ඔවුන් විසින් කළ වරද පැමිණිල්ල විසින් නිශ්චිතව දක්වා නොමැති බව කියා සිටි විත්තියේ නීතිඥවරු ඒ අනුව අදාල වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යෑමට නොහැකි බවත් සිය මූලික විරෝධතා වලින් පෙන්වා දී තිබුණා. ඊට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් තවත් විරෝධතා කීපයක්ද විත්තියේ නීතිඥවරු මතුකර සිටියා.
එහෙත් ඊට පිළිතුරු සපයමින් රජයේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබුණේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට වැටෙනවාද? නැද්ද? යන්න තීන්දු කළ හැක්කේ නඩු විභාගයේදී ඉදිරිපත් වන සාක්ෂි මත පමණක් බවයි.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධි චෝදනා වල වලංගුභාවය මෙම අධිකරණය හමුවේ ප්‍රශ්න කළ නොහැකි බවත් රජයේ නීතිඥවරයා තර්ක කර තිබුණා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික .සී. රාගල මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කර බැලීමේදී විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට අධිකරණය විසින් තීරණය කරන බවයි.
කෙසේ වෙතත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවත් මෙහිදී විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කර සිටියා.
මෙම නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විත්තියේ නීතිඥවරු විසින් විත්තිකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කළා.
එම ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ලබන 03 වනදා ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුවරයා නියෝග කළේ.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු වන රවිඳු සංදීප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර නොහොත් මිදිගම රුවන්, සංජය අබේසිංහ යන අය නම් කර තිබෙනවා.
ඔවුන් මේ වනවිට විට රිමාන්ඞ් භාරයේ පසුවනවා.












