​හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, ඇමරිකානු හමුදාව විසින් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම අණදෙන බලකාය හෙවත් සෙන්ට්කොම් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ජාත්‍යන්තර මුහුදු මාර්ගයක ගමන් කළ අ…

​හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, ඇමරිකානු හමුදාව විසින් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම අණදෙන බලකාය හෙවත් සෙන්ට්කොම් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ජාත්‍යන්තර මුහුදු මාර්ගයක ගමන් කළ අහිංසක සිවිල් වැසියන් රැගත් වෙළඳ නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ඉරානය කටයුතු කළ බවයි. ඒ වෙනුවෙන් ඉරානයට දැඩි වන්දියක් ගෙවීමට සැලැස්වීම සඳහා මෙම ප්‍රහාර මාලාව ආරම්භ කළ බව ද ඇමරිකාව පවසනවා. ​ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම ඇමරිකානු ප්‍රහාර ඉරානයේ කේෂ්ම් දූපත, බන්ඩර් අබ්බාස් සහ සිරිකි යන ප්‍රදේශවලට එල්ල වී තිබෙනවා. ප්‍රහාර හේතුවෙන් සිදුවූ පිපිරීම්වලින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, මේ දක්වා කිසිදු මරණයක් වාර්තා වී නැහැ. ​කෙසේ වෙතත්, ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. ඔහු කියා සිටියේ ඇමරිකාවේ මෙම ක්‍රියාව පසුගිය මාසයේ දෙරට අතර අත්සන් තැබූ එකඟතා ගිවිසුම දරුණු ලෙස උල්ලංඝනය කිරීමක් බවයි. මෙයට එරෙහිව ඉරානය ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවටද ඔහු අනතුරු ඇඟෙව්වා. ​මෙම ප්‍රහාරයට පැය කිහිපයකට පෙර, ඇමරිකානු භාණ්ඩාගාරය විසින් ඉරාන තෙල් අපනයනය සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කරමින් ලබා දී තිබූ බලපත්‍රය ද අවලංගු කිරීමට පියවර ගත්තා. ​මේ අතර සවුදි අරාබිය සහ කටාර් රාජ්‍යය ද ඉරානයට චෝදනා කරමින් කියා සිටියේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ තම රටවලට අයත් තෙල් නැව්වලට ඉරානය විසින් හිතාමතාම ප්‍රහාර එල්ල කර ඇති බවයි. ලෝකයේ සමස්ත තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක්ම ප්‍රවාහනය කෙරෙන මෙම සුවිශේෂී මුහුදු මාර්ගයේ ආරක්ෂාව අනතුරේ හෙළීමට ඉරානය කටයුතු කරන බවට එම රටවල් චෝදනා කරනවා.