ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නැව්වලට පසුගිය පැය කිහිපය තුළ වෙඩි තබා ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ගුවන් යානා මේ වන විට ඉරාන කෲස් මිසයිලයක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යාන…

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නැව්වලට පසුගිය පැය කිහිපය තුළ වෙඩි තබා ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ගුවන් යානා මේ වන විට ඉරාන කෲස් මිසයිලයක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළා ඇති බවයි එම අණදෙන නිලධාරියා පවසා ඇත්තේ. පැය කිහිපයකට පමණ පෙර ආරම්භ වූ ඉරාන හමුදා ඉලක්ක වෙත එක්සත් ජනපද ප්‍රහාර නව රැල්ලක් නිවේදනය කිරීමෙන් පසුවයි එය සිදුව ඇත්තේ. එක්සත් ජනපදය පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ ගමන් කරන සිවිල් නාවිකයන්ට සහ වාණිජ නැව්වලට ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව අඛණ්ඩව දුර්වල කිරීම සඳහා සිය හමුදාව ඉරානයට එරෙහිව මෙලෙස ප්‍රහාර දියත් කරන බවයි. එවන් පසුබිමක් තුළ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල දැනටමත් අමෙරිකානු ඩොලර් 79 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. යුද්ධය ආරම්භ වීමට පෙර, දිනකට නැව් 130 ක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළද එය පසුගිය බ්‍රහස්පතින්දා වනවිට නැව් 22 ක් දක්වා පහත වැටී තිබෙනවා.