ඉන්දීය ක්‍රිකට් අභිමානය පහළටම ඇද දමමින් දෙරට අතර පැවැත්වෙන තරග පහකින් යුත් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයද පහසුවෙන් ජයගැනීමට එංගලන්තය සමත් වුණා. එංගලන්තයේ බි්‍රස්ටල්හී පැවති මෙම තරගය එංගලන්තය ජය ගත්තේ කඩුලු 9න් සහ පන්දුවාර 6යි එක් පන්දුවක්ද ඉතිරිව තිබියදීයි. පළමුවෙ…
ඉන්දීය ක්‍රිකට් අභිමානය පහළටම ඇද දමමින් දෙරට අතර පැවැත්වෙන තරග පහකින් යුත් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයද පහසුවෙන් ජයගැනීමට එංගලන්තය සමත් වුණා. එංගලන්තයේ බි්‍රස්ටල්හී පැවති මෙම තරගය එංගලන්තය ජය ගත්තේ කඩුලු 9න් සහ පන්දුවාර 6යි එක් පන්දුවක්ද ඉතිරිව තිබියදීයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තා. එංගලන්ත ක්‍රීඩකයන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේ 13වන පන්දුවාරයේ 5වන පන්දුවේදීයි. ඉනිමේ කිසිදු අවස්ථාවක එංගලන්ත පිතිකරුවන්ට පීඩනයක් ගෙනදීමට ඉන්දීය පන්දු යවන්න අසමත් වුණා. තරඟය නැරඹීමට පැමිණ සිටි දහස් ගණනක් ඉන්දීය ප්‍රේක්ෂකයන් පිටියෙන් පිටව ගියේ වේදනාවෙන් හඬා වැටෙමින් සහ කෝපයෙන්. IPL දක්ෂතා හේතුවෙන් බොහෝ ප්‍රේක්ෂකයන් සහ විචාරකයන් විසින් ඉහළට ඔසුවා තැබූ විභාව් සූර්යයවංශිගේද බල එංගලන්තය හමුවේ බිඳ වැටුණා. ඊයේ තරඟයේත් ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 15ක් පමණයි. ඉන්දීය පන්දු යවන්නන්ට එලව එළවා පහර දුන් එංගලන්ත නායක හැරි බෘක් පන්දු 35කදී ලකුණු 79ක් ලබා ගත්තා. දෙපිල අතර පැවති පළමු තරඟය විසඳුමකින් තොරව අවසන් වූ අතර දෙවන සහ තුන්වන තරග ජයගත්තේ ද එංගලන්තයයි. ඒ අනුව තරග පහකින් යුත් තරගාවලිය මේ වන විටත් තුනට බිංදුවක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත්ව තිබෙනවා. පස්වන සහ අවසන් තරගය හෙට සදර්ම්ටන්හිදී ආරම්භවීමට නියමිතයි. මේ අතර ඉන්දීය ක්‍රිකට් අභිමානය බිමටම ඇද දමමින් වයස අවුරුදු 19න් පහළ ඉන්දීය කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත වූ එක්දින ක්‍රිකට් තරගාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් වුණා. ඒ දෙපිල අතර ඊයේ පැවති තරගාවලියේ තුන්වන සහ අවසාන තරඟය උණුසුම් සටනකින් පසු එක් කඩුල්ලකින් ජය ගනිමින්. හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්වුණා. එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන්නේ ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමයි. ඔවුන් නියමිත පන්දුවාර 50හේදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් කඩුලු 9ක් දැවී තිබියදී ඉනිමේ අවසන් පන්දුවේදී මෙම ඉලක්කය අභිබවා ගියේ තරගයේ මෙන්ම තරගාවලියේ ජය ද තමන් සතු කර ගනිමින්.

