ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ දැඩිම ආර්ථික සම්බාධක මාලාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇමෙරිකානු මුදල් ලේකම් ස්කොට් බෙසන්ට් විසින් ˜Operation Economic Outcast˜ ලෙස නම් කළ මෙම මෙහෙයුම, ඉරානය ලෝක ආර්ථිකයෙන් සම්පූර්ණයෙන්ම කොන් කිරීමේ අරමුණින් දියත් කළ…

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ දැඩිම ආර්ථික සම්බාධක මාලාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇමෙරිකානු මුදල් ලේකම් ස්කොට් බෙසන්ට් විසින් ˜Operation Economic Outcast˜ ලෙස නම් කළ මෙම මෙහෙයුම, ඉරානය ලෝක ආර්ථිකයෙන් සම්පූර්ණයෙන්ම කොන් කිරීමේ අරමුණින් දියත් කළ එකක්. මෙම අලුත් සම්බාධක යටතේ ඉරානයේ ඩිජිටල් මුදල්, තාක්ෂණ, රත්රන්, ගුවන් සේවා සහ නාවික යන ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් ඉලක්ක කර ඇති අතර, ඊට සම්බන්ධ පුද්ගලයින්, ආයතන සහ නෞකා 60කට ආසන්න සංඛ්‍යාවකට තහනම් පනවා තිබෙනවා. කෙසේ වෙතත්, ඇමෙරිකාවේ මෙම ආර්ථික තර්ජනය හමුවේ ඉරාන ආර්ථික අමාත්‍ය අලි මදානිසාදේ ප්‍රකාශ කළේ, ඇමෙරිකානු සම්බාධකවලට මුහුණ දීම සඳහා වසර දෙකක විශේෂ සැලසුමක් ඉරානය සතු බවයි. එසේම, මෙම සටනින් ද වොෂින්ටනයට පරාජය අත් වන බව ඔහු සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම අර්බුදයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර, ඉරානය නැවත වරක් ප්‍රකාශ කර ඇත්තේ, මෙම අර්බුදය දිගින් දිගටම පැවතුණහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදුකරන තෙල් ප්‍රවාහය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගන්නා බවයි. ඇමෙරිකාවේ මෙම ඒකපාර්ශ්වික සම්බාධක තීරණය චීනය සහ රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, තම රටේ ආර්ථික සහ වෙළඳ හිමිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නා බව චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා.