ජෝ අබේවික්‍රම නමැති අග්‍රගණ්‍ය සිනමා නළුවා ගේ 99 වැනි ජන්ම දිනය 2026 ජුනි මස 22 වැනිදාට යෙදී තිබේ. 1927 ජුනි මස 22 වැනි දින රත්නපුර ලෙල්ලොපිටිය ග්‍රාමයේ දී උපත ලද ගම්මන පටබැඳීගේ දොන් ජෝන් අබේවික්‍රම වන ඔහුට ජෝන් යන නම යොදා ඇත්තේ ජෝ අබේවික්‍රමගේ පියාණන් ඉතාමත් ගරු කළ ජෝන් ඩොයිලි…
ජෝ අබේවික්‍රම නමැති අග්‍රගණ්‍ය සිනමා නළුවා ගේ 99 වැනි ජන්ම දිනය 2026 ජුනි මස 22 වැනිදාට යෙදී තිබේ.
1927 ජුනි මස 22 වැනි දින රත්නපුර ලෙල්ලොපිටිය ග්‍රාමයේ දී උපත ලද ගම්මන පටබැඳීගේ දොන් ජෝන් අබේවික්‍රම වන ඔහුට ජෝන් යන නම යොදා ඇත්තේ ජෝ අබේවික්‍රමගේ පියාණන් ඉතාමත් ගරු කළ ජෝන් ඩොයිලි නමැති සුප්‍රකට ඉංග්‍රීසි ජාතික දිසාපතිවරයාගේ නමින් බව වරක් ජෝ පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.
නන්දා අබේවික්‍රම සහ මිසී අබේවික්‍රම ජෝ අබේවික්‍රමගේ වැඩිමල් සහෝදරියන්ය. එකම සොයුරා ඇලන් අබේවික්‍රමය. ජෝ අබේවික්‍රමයන් අභාවප්‍රාප්ත වන්නේ 2011 සැප්තැම්බර් මස 21 වැනිදාය.
සිය උපන්ගම වන ලෙල්ලොපිටිය මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලද ජෝ අබේවික්‍රම ඉන්පසුව රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ රත්නපුර සාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් පාසල් උසස් අධ්‍යාපනය ලබාගත්තේය.
ඔහුගේ බිරිඳ පුෂ්පා කුමාරි රත්නායකය. දෙටු දියණිය උදේනි කුමාරි අබේවික්‍රම වන අතර බාල පුතණුවන් චන්න අබේවික්‍රමය.
ඔහුගේ ජීවිත කාලය තුළ සිංහල චිත්‍රපට 163ක සහ ටෙලිනාට්‍ය අතුළු අනිකුත් නිර්මාණ 172ක පමණ රංගනයෙන් දායක වූ අතර එයින් සිංහල චිත්‍රපට 62ක ප්‍රධාන චරිතය රඟපෑ අතර චිත්‍රපට 110ක සහාය නළුවාගේ චරිතය රඟපෑවේය.
1955 වසරේ දී එම්.එච්.මුනාස් විසින් අධ්‍යක්ෂණය කළ ‘දේවසුන්දරී’ චිත්‍රපටයේ විකට රංගනයකට එක්වෙමින් ජෝ සිය සිනමා දිවිය ආරම්භ කළේය.
එහෙත් ඔහු රඟපෑ ප්‍රථම චිත්‍රපටය ලෙස පළමුවෙන් තිරගත වන්නේ ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ ‘සරදම්’ නමැති චිත්‍රපටයයි. එහි ජෝ අබේවික්‍රම පොලිස් නිලධාරියකුගේ චරිතය රඟපෑ අතර ප්ලොරීඩා ජයලත් ද රංගනයෙන් සහාය වූවාය.
ඒ අනුව 1957 දී තිරගතවීම ඇරඹූ ‘සරදම්’ චිත්‍රපටයේ සිට 2013 තිරගතවූ ‘අභිනික්මන’ නමැති ඔහු රඟපෑ අවසන් චිත්‍රපටය තෙක් ජෝ අබේවික්‍රමයන් සිනමා නිර්මාණ 163ක චරිත නිරූපණයෙන් දායක වී තිබේ.
1956 දී ප්‍රේම්නාත් මොරායස් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී 256‘ චිත්‍රපටයට ද ජෝ අබේවික්‍රම රංගනයෙන් දායක වූ අතර සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ බිරිඳ ටීනා ෆොන්සේකා මහත්මිය සිනමා රංගනයකට දායක වූ එකම චිත්‍රපටය ද එය වීම විශේෂත්වයකි.
ඔහු රංගනයෙන් දායක වූ මුල්යුගයේ සුවිශේෂී චිත්‍රපට අතර සිරිමලී, නළඟන, පිරිමියෙක් නිසා, රන්මුතු දූව, ගැටවරයෝ, චණ්ඩියා, දරුවා කාගෙද යන චිත්‍රපට වේ.
ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා සමග ප්‍රථම වරට රංගනයට එක්වන්නේ 1962 වසරේ දී ‘රන්මුතු ුදූව’ චිත්‍රපටයෙනි. එය ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය විය. ජෝ අබේවික්‍රම දෙස් විදෙස් චිත්‍රපට සම්මාන උළෙලවල දී දිනාගත් සම්මාන සංඛ්‍යාව හතළිහකි. 1965 වසරේ දී තිරගත වූ ‘සාරවිට’ චිත්‍රපටයේ සාරය්යාගේ චරිතය වෙනුවෙන් ජෝ ප්‍රථම වරට එම වසරේ සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවේය.
ඉන් අනතුරුව ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ සෙමනේරිස්ගේ චරිතය වෙනුවෙන් ද ‘සැඬොල් කඳූළු’ චිත්‍රපටයේ ගොලු සේවකයාගේ චරිතය ද සරසවි සම්මානයෙන් හොඳම නළුවා ලෙස පිදුම් ලැබීය.
1970 දී මහගම සේකරගේ ‘තුන්මං හන්දිය’ චිත්‍රපටයේ සිදු කළ රංගනය සඳහා ද ජෝට සරසවි සම්මානය හිමිවූ අතර 1971 දී තිරගතවූ ඩී.බී.නිහාල්සිංහගේ ‘වැලිකතර’ චිත්‍රපටයේ ගෝරිං මුදලාලිගේ චරිතයෙන් ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කරමින් ඔහු සම්මාන රැසක් හිමිකරගත්තේය.
අදට ද වැලිකතර චිත්‍රපටය ලංකාවේ හොඳම චිත්‍රපට අතරින් එකක් ලෙස පැවතීම විශේෂත්වයකි.
1975 වසරේ දී ‘දෑසනිසා’ චිත්‍රපටයේ ‘නිරුදක’ගේ චරිතය ඔහුගේ චිත්‍රපට එකතුවේ තවත් සිහිවටනයකි. ජෝ අබේවික්‍රමයන් සිනමා නළුවකු වශයෙන් මුල් අවධියේ ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනා ගන්නේ ජෝකර්කෙනකු හෙවත් කොමික්කාරයකු ලෙසින්ය.
අවසානයේ දී එම තත්ත්වයෙන් මිදී සැබෑ චරිතාංග රංගවේදියකු ලෙස මතුවන්නට ජෝ අබේවික්‍රමයන් හට දිගු කලක් ගතවිය. 1965 දී තිරගත වුණු ‘සාරවිට’ චිත්‍රපටයේ සාරයියාගේ චරිතයෙන් පසුව ජෝ අබේවික්‍රම විශිෂ්ට රංග කුසලතාවයෙන් හෙබි නළුවෙක් බව සාර්ථක ලෙස ඔප්පු කළේය.
ඉන්පසුව තමා චරිතාංග නිරූපණයෙහි අති දක්ෂයෙක් බව ප්‍රේක්ෂකයා හට නැවත ඔප්පු කර පෙන්වන්නට මහගම සේකරයන්ගේ ‘තුන්මංහන්දිය’ තිරගත වනතුරු ජෝ හට තවත් වසර පහක් ගතවිය. ගැමි පරිසරයක උපත ලැබූ ජෝ හට තුන්මං හන්දියේ ප්‍රධාන චරිතය වූ ගැමි සිත්තරකු වූ අබිලිංගේ චරිතයේ අධ්‍යාත්මයට පිවිසෙන්නට කිසිසේත් අසීරු වූයේ නැත.
හෙළ සිනමාවේ ප්‍රථම සිනමාස්කෝප් වෘත්තාන්ත චිත්‍රපටය නොහොත් අතිවිශාල පුළුල් තිර වෘත්තාන්ත චිත්‍රපටය වූ 1971 තිරගතවූ ඩී.බී. නිහාල්සිංහගේ ‘වැලිකතර’ චිත්‍රපටයේ ගෝරිං මුදලාලිගේ චරිතය ජෝ ගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වූ බව විචාරක මතයයි.
එහෙත් වැලිකතර චිත්‍රපටය අවසානයේ වික්‍රමරන්දෙණිය නමැති පොලිස් නිලධාරියා සමග ගෝරිං මුදලාලි සිදුකර ගන්නා වෙඩි හුවමාරුව අවසානයේදී ගෝරිං වෙඩි උණ්ඩයක් වැදී පරාජය වනු වෙනුවට බියගුල්ලකු මෙන් පලා යෑමට සැලැස්වීම චිත්‍රපටයට තමා සම්බන්ධ වනවිට තිබූ අවසානය නොවන බව ජෝ අබේවික්‍රමයන් එකල පවසා තිබුණි.
ජනප්‍රිය සිනමාවේ වීරයකු වීමේ පළමු අවස්ථාව ජෝ හට එලෙස වැසී ගිය ද ඉන්පසුව 1978 තිරගතවූ ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ ඇන්ටන්ගේ අති ප්‍රබල රංගනය ජෝගේ සිනමා දිවියේ අති විශිෂ්ට අවස්ථාවක් විය.
1981 තිරගතවූ ධර්මසේන පතිරාජගේ ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයේ පැරණි සොල්දාදුවා දෙවන ලෝක සංග්‍රාමයේ දී අධිරාජ්‍යවාදීන්ගේ කුලී හේවායකු ලෙස සේවය කොට මනස විකල්වී වීදියට වැටුණු චරිතයකි.
‘පුර හඳ කළුවර’ විත්‍රපටයේ වන්නිහාමි නමැති සංකීරණ චරිතය රඟපෑ ජෝ අබේවික්‍රම 12 වන සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී හොඳම නළුවා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. ඔහුගේ අවසන් සමයේ රඟපෑ චිත්‍රපට අතර වූ ‘සෙල්වම්’ විත්‍රපටය ද බෙදුම් වාදී යුද්ධය නියේජනය කළ චිත්‍රපටයකි.
1982 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘බැද්දේගම’ චිත්‍රපටයේ සිලිඳූගේ චරිතය වෙනුවෙන් ද ජෝ එම වසරේ දී සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවේය. එම වකවානුවේම Peter of the Elephants සහ The Three Yellow Cats යන ඉංග්‍රීසි චිත්‍රපටවල ද ජෝ අබේවික්‍රම රංගනයෙන් පෙනී සිටියේය.
1960 සහ 1962 යුගයේ ජෝ අබේවික්‍රම ‘මල් යහනාව’, ‘බැරිසිල්’, ‘කැලෑමල්’ ආදී වේදිකා නාට්‍ය කීපයක ද රඟපෑවේ ය. එපමණක් නොව, රූපවාහිනී ටෙලිනාට්‍ය කීපයකට ද ජෝ සම්බන්ධ විය. ‘අඳුකොළ’, ‘වනස්පති’, ‘ගම්පෙරළිය’, ‘සකිසඳ එලියස්’, සහ ‘ඇසළ කළුවර’ එම ටෙලි නාට්‍යයන්ය.
ඔහු විසින් තිර රචනය සම්පාදනය කළ එකම ටෙලිනාට්‍යය වූයේ ‘සබඳ පබිලිස්’ ය. එම නාට්‍යයේ ඇන්ටන් ජූඩ් විසින් ගායනා කළ “උණපුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ”නමැති ගීතය අතිශය ජනප්‍රිය විය.
ජෝ අබේවික්‍රම විසින් ගීතයක් ගායනා කළ ප්‍රථම අවස්ථාව වූයේ ඔහු විසින් ම 2004 නිෂ්පාදනය කළ එකම ටෙලි වෘත්තාන්තය වූ ‘තහංචි’ ටෙලිනාට්‍යයේ “වෙල් එළියට” නමැති ගීතයයි.
එමෙන්ම ඔහු විසින් රූපවාහිනී මාලා ටෙලිනාට්‍යයක් ද රචනා කළේය. එය ‘සකිසඳ එලියස්’ ය.
ජෝ අබේවික්‍රමයන් විසින් රචනා කළ ප්‍රථම සහ එකම නව කථාව 1972 දී ‘මහ බඹාට මුහුණු දෙකයි’ නමින් මුද්‍රණ ද්වාරයෙන් නිකුත් විය.
1999 සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී හොඳම ආසියානු නළුවාට හිමි සම්මානය ද ඔහු විසින් දිනාගන්නේ ‘පුර හඳ කළුවර’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගනය වෙනුවෙනි.
ජෝ අබේවික්‍රමයන් පිදුම් ලද “සරසවි සම්මාන” පිළිවෙළින් මෙසේය.
1965 ‘ගැටවරයෝ’ කුසලතා සම්මානය, 1966 ‘සාරවිට’ හොඳම නළුවා සම්මානය, 1982 ‘බැද්දේගම’ හොඳම නළුවා සම්මානය, 1983 ‘මලට නොඑන බඹරු හොඳම නළුවා සම්මානය’, 1986 සිනමා දායකත්වය පිළිබඳ රණතිසර සම්මානය, 1987 ‘මල්දෙණියේ සිමියොන්’ හොඳම නළුවා සම්මානය, 1991 ‘පාලම යට’ හොඳම සහාය නළුවා සම්මානය, 1992 ‘ගොළු මුහුදේ කුණාටුවක් ‘ හොඳම නළුවා සම්මානය, 1993 ‘උමයංගනා’ හොඳම නළුවා සම්මානය, 1997 ‘බිතුසිතුවම්’ හොඳම නළුවා සම්මානය සහ 2001 වසරේ ‘පුර හඳ කළුවර’ හොඳම නළුවා සම්මානය ද වේ.
ජෝ අබේවික්‍රමයන් පුද ලද ජනාධිපති සම්මාන අතර 1979 ‘බඹරු ඇවිත්’ කුසලතා සම්මාන, 1980 ‘වසන්තයේ දවසක්’ හොඳම සහාය නළුවා සම්මානය, 1981 ‘සිරිබෝ අයියා’ හොඳම නළුවා සම්මානය, 1982 ‘බැද්දේගම’ හොඳම නළුවා සම්මානය සහ 1983 දී ‘මලට නොඑන බඹරු’ චිත්‍රපටය සඳහා ලද හොඳම නළුවා සම්මානය ද 1999 ශ්‍රී ලාංකීය රංගන දායකත්වය වෙනුවෙන් යූ.ඩබ්. සුමතිපාල සම්මානය සහ වසර 2000 දී ‘ඉමදිය මංකඩ’ ටෙලිනාට්‍යය සඳහා ලද හොඳම ටෙලිනාට්‍ය නළුවා සම්මානය ද විය.
සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී ‘පුර හඳ කළුවර’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම ආසියානු නළුවා සම්මානය හිමිකර ගැනීම සහ 1966 ඉන්දියාවේ පැවැති ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලට සහභාගී වූ ප්‍රථම සිනමා නළුවා වීමේ ගෞරවය ද ජෝ අබේවික්‍රමයන් සිනමා දිවියේ ලද සුවිශේෂී ජයග්‍රහණයන්ය.
එවක පැවැති රජයෙන් ජෝ අබේවික්‍රමයන් දේශබන්දු ගරු නාමයෙන් ද පුදනු ලැබීය.
රන්ජන් ගාමිණී ජයවර්ධන

