ඉරානයේ නගර කිහිපයකින් අද අලුයම ප්‍රබල පිපිරීම් හඬ ඇසුණු බව විදෙස් වාර්තා පවසනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මෙම ප්‍රහාරවලින් ඉරානයට දැඩි බලපෑම් ඇති වූ බවයි. ඉකුත් දිනවල ජෝර්දානයේ සහ ඉරාකයේදී අමෙරිකානු කදවුරු වෙත ඉරානය ප්‍රහාර එල්ල කල…
ඉරානයේ නගර කිහිපයකින් අද අලුයම ප්‍රබල පිපිරීම් හඬ ඇසුණු බව විදෙස් වාර්තා පවසනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මෙම ප්‍රහාරවලින් ඉරානයට දැඩි බලපෑම් ඇති වූ බවයි. ඉකුත් දිනවල ජෝර්දානයේ සහ ඉරාකයේදී අමෙරිකානු කදවුරු වෙත ඉරානය ප්‍රහාර එල්ල කල අතර එම ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් තුන්දෙනෙකු මියගියා. ඒ, ජෝර්දානයේ දී දෙදෙනෙකු සහ ඉරකායේදී එක් අයෙකු වශයෙන්. මියගිය මෙම අමෙරිකානු සෙබලුන්ට උපහාරයක් ලෙස ඉරානය වෙත නවත ප්‍රහාර සිදුකළ බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා. ඉරානයේ තබ්‍රිස් (Tabriz), චබහාර් (Chabahar) ඇතුළු නගර කිහිපයකටයි ප්‍රහාර එල්ල කර ඇත්තේ. තබ්‍රිස් නගරයට එල්ල වූ ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එමෙන්ම ඉරානය විසින් ඉදි කරමින් පවතින ඩාර්කොවින් (Darkhovin) න්‍යෂ්ටික බලාගාර භූමියටද ඇමෙරිකාව පහර දී ඇති අතර ඉරානය එය දැඩි ලෙස හෙළා දකිනවා. මේ අතර ඇමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා ඇත්තේ තමන් සිරියාවේ ඇමෙරිකානු ඉලක්ක වෙත සහ ජෝර්දානයේ අකාබා (Aqaba) ගුවන් තොටුපළේ ඇති ඇමෙරිකානු ගුවන් යානාවලට හදිසි ප්‍රහාර එල්ල කළ බවයි. ලෝක වෙළඳාමට ඉතා වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතවද තත්ත්වය බරපතළ වී තිබෙනවා. එහි ගමන් ගත් තෙල් නැව් දෙකක් පිපිරීම්වලට ලක්ව ඇති බවත්, ඇමෙරිකානු ප්‍රහාර නතර කරන තුරු මෙම මුහුදු මාර්ගයෙන් එක තෙල් බින්දුවක්වත් ප්‍රවාහනය කිරීමට ඉඩ නොදෙන බවත් ඉරාන විප්ලවීය බලකාය පවසනවා. එසේම ප්‍රක්ෂේපණ ප්‍රහාරයකින් හෝමුස් සමුද්‍ර සන්ධියේ නැවක් ගිනිගෙන ඇති අතර එහි සිටි පිරිස බේරාගෙන තිබෙනවා. පවතින උණුසුම් තත්ත්වය මැද වුවද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ප්‍රශ්නය විසඳා ගැනීමට ඇමෙරිකාව තවදුරටත් සූදානම් බවයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) ප්‍රකාශ කර තිබෙන්නේ. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මුහුදු මාර්ගයක් පාලනය කිරීමට ඉරානයට ඉඩ දෙනවාද නැද්ද යන්න ලෝකය තීරණය කළ යුතු බව ඔහු වැඩිදුරටත් පවසනවා.

