කැනඩාව පුරා ලැව්ගිනි 800 කට වඩා තවදුරටත් ඇවිලෙමින් සහ පැතිරෙමින් තිබෙනවා. ඒවායින් පිටවන අධික දුමාරය නිසා අසල්වැසි ඇමරිකානු ප්‍රාන්ත කිහිපයක ද වායුගෝලයේ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර ලෙස පහළ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කැනඩා ලැව්ගිනි තොරතුරු අංශයට අනුව, ඊයේ දිනයේ පමණක් අලුතින්…

කැනඩාව පුරා ලැව්ගිනි 800 කට වඩා තවදුරටත් ඇවිලෙමින් සහ පැතිරෙමින් තිබෙනවා. ඒවායින් පිටවන අධික දුමාරය නිසා අසල්වැසි ඇමරිකානු ප්‍රාන්ත කිහිපයක ද වායුගෝලයේ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර ලෙස පහළ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කැනඩා ලැව්ගිනි තොරතුරු අංශයට අනුව, ඊයේ දිනයේ පමණක් අලුතින් ලැව්ගිනි 30 ක් වාර්තා වී ඇති අතර ඉන් බහුතරයක් පාලනය කිරීමට නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ හටගත් ගින්නකින් එහි වෙසෙන ස්වදේශික ජනතාව ජීවත් වූ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය කියා සිටියේ. මේ අතර, කැනඩාවෙන් හමන සුළඟත් සමඟ තද දුමාරය ඇමරිකාවේ මිචිගන් සහ මිනසෝටා වැනි උතුරු ප්‍රාන්ත වෙත ගසාගෙන ගොස් තිබෙනවා. එම ප්‍රාන්තවල වායු තත්ත්වය ”අතිශය අවදානම්” මට්ටමක පවතින බැවින්, ජනතාවට නිවෙස් තුළම රැඳී සිටින ලෙසයි ඇමරිකානු බලධාරීන් උපදෙස් දෙන්නේ. ලෝක වායු තත්ත්ව දර්ශකයන්ට අනුව මේ වන විට ලොව අපිරිසිදුම වායුගෝලය සහිත නගරය බවට පත්ව ඇත්තේ ඇමරිකාවේ ඩෙට්‍රොයිට් නගරයයි. පවතින තත්ත්වය හේතුවෙන් නිව්යෝර්ක් නගරය ඇතුළු ප්‍රදේශ රැසක හදිසි වායු තත්ත්ව ප්‍රොටෝකෝල ක්‍රියාත්මක කර ඇති අතර, ජනතාවට නොමිලේ මුඛ ආවරණ බෙදා හැරීමට ද පියවර ගෙන තිබෙනවා. එළඹෙන ඉරිදා නිව් ජර්සි ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයට ද මෙම දුමාරයෙන් බලපෑමක් එල්ල විය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. පැතිර යන ලැව් ගිනි සදහා ප්‍රධාන හේතුව දේශගුණික විපර්යාස සහ පෘථිවිය උණුසුම් වීම බව පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙනවා. ලැව්ගිනි පාලනය කිරීම සඳහා පළාත් පාලන ආයතන සමඟ තම රජය සමීපව කටයුතු කරන බවත්, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම දෙරටේම වගකීමක් බවත් කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි ප්‍රකාශ කළා.