කටාර් හි පිහිටි අමෙරිකානු හමුදාවන්ට අයත් ප්‍රධානතම ගුවන් කඳවුරක් වන “අල් උඩෙයිඩ්” වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා. මීට අමතරව බහරේනය, කුවේටය සහ ජෝර්දානයේ පිහිටි තවත් ඇමෙරිකානු හමුදා කදවුරු වෙතද ප්‍රහාර එල්ල කළ බවයි ඉරානය පවසන්නේ. ඉරානය වෙත ඇමෙරිකාව දිගින් දිගටම එල්ල කරන ප්‍රහ…

කටාර් හි පිහිටි අමෙරිකානු හමුදාවන්ට අයත් ප්‍රධානතම ගුවන් කඳවුරක් වන “අල් උඩෙයිඩ්” වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා. මීට අමතරව බහරේනය, කුවේටය සහ ජෝර්දානයේ පිහිටි තවත් ඇමෙරිකානු හමුදා කදවුරු වෙතද ප්‍රහාර එල්ල කළ බවයි ඉරානය පවසන්නේ. ඉරානය වෙත ඇමෙරිකාව දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාර මාලාව සැලසුම් කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කියා සිටියා. ප්‍රහාරවලින් ජෝර්දානයේ “ප්‍රින්ස් හසන්” ගුවන් කඳවුරේ අණදෙන සහ පාලන මධ්‍යස්ථානය ද ‘MQ-9’ වර්ගයේ ඩ්‍රෝන යානා රඳවා තබන ස්ථාන සහ නඩත්තු මධ්‍යස්ථානය ද සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය වැඩිදුරටත් පැවසුවේ. ඕමානයේ පිහිටි ඇමෙරිකානු නාවික හමුදා සැපයුම් සහ ඉන්ධන පිරවුම් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින්ද ඉරානය ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ අතර මැදපෙරදිග නවතම ආරක්ෂක තත්ත්වය පිළිබඳව වාර්තා කරමින් අල්-ජසීරා ප්‍රවෘත්ති සේවය පවසන්නේ, ඇමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ තවත් ප්‍රහාර මාලාවකින් පසු කටාර්හි දෝහා අගනුවර හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි. ආරක්ෂක තර්ජන ඉහළ මට්ටමක පවතින බැවින්, නිවාස හෝ ආරක්ෂිත ස්ථානවල ම රැඳී සිටින ලෙස කටාර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය එරට වැසියන්ගෙන් ඉල්ලා ඇතැයිද අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබෙනවා. ඉරානයෙන් පැමිණෙන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර තම ගුවන් ආරක්ෂක පද්ධති මඟින් සාර්ථකව ව්‍යර්ථ කරමින් සිටින බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසන්නේ. බහරේන් රාජ්‍යයද ගුවන් ප්‍රහාරක සයිරන් නාද කර ඇති අතර, කලබල නොවී සන්සුන්ව සිටින ලෙස එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා. ​ ​