කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මුහුණු පොත (Face book) ප්‍රමුඛ සමාජ මාධ්‍ය තුළ සමූහ මගින් (Groups) දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ලිංගික දර්ශන සහ පුද්ගලික ඡායාරූප මිලදී ගන්නා සහ මුදලට අලෙවි කරන මාර්ග ගත ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසය…

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය

මුහුණු පොත (Face book) ප්‍රමුඛ සමාජ මාධ්‍ය තුළ සමූහ මගින් (Groups) දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ලිංගික දර්ශන සහ පුද්ගලික ඡායාරූප මිලදී ගන්නා සහ මුදලට අලෙවි කරන මාර්ග ගත ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

තවද, මේ දිනවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් දැනටමත් මෙම තත්ත්වය පිළිබඳ පරිශීලකයන් දැනුවත් කරමින් ලිපි සහ වීඩියෝ පට විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කර ඇතැයි ද එම අමාත්‍යාංශය කියයි. ඒ අනුව අමාත්‍යාංශය විසින් සිදුකළ මූලික සොයාබැලීම් හරහා අනාවරණය කරගත් කරුණු සහිතව තොරතුරු ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමුකර තිබේ.

අදාළ සමූහ පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ ව්‍යාජ ගිණුම් හරහා තම සමීපතමයන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට මෙසේ විකිණීමට උත්සාහ කරන බව පෙනුණු අතර, තම පවුලේම සාමාජික කාන්තාවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට මෙලෙස බෙදාහැරීමට උත්සාහ කරන අවස්ථාද නිරීක්ෂණය වූ බව එම අමාත්‍යාංශය පවසයි.

එසේම මෙම සමූහ බොහෝමයක්ම විදේශ රටවල සිට මෙහෙයවන බව හඳුනාගැනීමට හැකි වී තිබේ.

ඔබ පවුලේ කාන්තාවන් සහ දරුවන් ඔබ නිවස තුළදීම මෙලෙස අනාරක්ෂිතවීමේ අවදානම පවතින බැවින්, දෙමව්පියන් තම දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ සහ ඔවුන් ඒ හරහා ඇසුරු කරන මිතුරන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද එම අමාත්‍යාංශය ඉල්ලා සිටී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්