තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ තුර්කි ගුවන් සේවයේ ටී.කේ.-731 දරන ගුවන් යානයෙහි කුරුල්ලෙකු ගැටීම නිසා, සිය ගුවන් ගමන අතහැර, යානයෙහි ඉන්ධන සංචිතය, ගොඩබැස්සවීමට සුදුසු මට්ටම තෙක් අඩු වන තෙක්, පැය 03 විනාඩි 15 ක් මීගමුව කළපුව මුහුදු ප්‍රදේශයේ, පහතින්…

තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ තුර්කි ගුවන් සේවයේ ටී.කේ.-731 දරන ගුවන් යානයෙහි කුරුල්ලෙකු ගැටීම නිසා, සිය ගුවන් ගමන අතහැර, යානයෙහි ඉන්ධන සංචිතය, ගොඩබැස්සවීමට සුදුසු මට්ටම තෙක් අඩු වන තෙක්, පැය 03 විනාඩි 15 ක් මීගමුව කළපුව මුහුදු ප්‍රදේශයේ, පහතින් පහතින් , අඩු වේගයකින් ගමන් කිරීමෙන් පසු සුරක්ෂිතව, යළිත් අද උදෑසන 10.21 කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්ස වූ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා. මෙම ගුවන් යානය පුළුල් බද සහිත ඒ.- 330 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් වූ අතර, එහි ගුවන් මගීන් 246 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු සිටි අතර මෙම යානය තුළ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු ද විශේෂ අමුත්තෙකු ලෙස ගමන් කරමින් සිටියා. මෙම තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ.- 731 දරන ගුවන් යානය අද උදෑසන 07.07 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා , පැය 06 ක ගුවන් ගමනක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ අතර, ඒ වනවිට මෙම ගුවන් යානය තුළ ඉන්ධන කිලෝ ග්‍රෑම් 80,000 ක් ගබඩා කර තිබුණා. මෙම ගුවන් යානය පිටත් වීමත් සමගම කුරුල්ලෙකු මෙම යානයෙහි ගැටී ඇති අතර, එසැනින් ගුවන් නියමුවා විසින් ඒ පිළිබද, කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා. ගුවන් යානයෙහි වූ මෙම අති විශාල ඉන්ධන සංචිතය සමග යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීම ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධානයේ නවතම නීතිරීති වලට පටහැනි නිසා , ගුවන් යානය ගොඩබැස්සවීමට සුදුසු ඉන්ධන මට්ටම තෙක් අඩු වන තුරු , මෙම ගුවන් යානය මීගමුව කළපුවට ඉහළ අහසේ වූ මුහුදු ප්‍රදේශයේ අඩි 7,000 ක උසකින් , නොට්ස් 253 ක වේගයෙන් පැය 03 විනාඩි 15 ක කාළයක් රවුම් ගසමින් සිටීමට සිදුව තිබෙනවා. ඒ අතර මෙම ගුවන් යානය හදිසි ගොඩබැස්සවීමකට සුදුසු වන පරිදි ගිනි නිවීම් රථ , ගිලන් රථ , වෛද්‍යවරුන් , හෙදියන් , ගලවා ගැනීමේ භටයන් කැදවා කටුනායක ගුවන් තොටුපොළ සූදානම් කර තිබු බවයි නෙත් නිවුස් නියෝජිත ටී කේ ජී කපිල පැවසුවේ. ඉන්පසුව මෙම ගුවන් යානය අද පෙරවරු 10.21 ට සුරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට හැකි වී තිබෙනවා.