මෑතකදී ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පද්මේ නමැත්තා ලබන 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම සැකක…

මෑතකදී ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පද්මේ නමැත්තා ලබන 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කර තිබුණා.

එහිදී සැකකාර කෙහෙල් බද්දර පද්මේ අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් " ස්වාමීනි... ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කළ රතු නිවේදනයකට අනුව මෙම සැකකරු ඉන්දුනීසියාවෙන් පිටුවහල් කළා. ඉන් පසුව 2025 සැප්තැම්බර් මස 02 වනදා කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත් අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත විමර්ශන කළා. ඔහු රදවා ගැනීම පිලිබඳව අවස්ථා කිහිපයකදීම ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම දැනුවත් කළා. මෙම සැකකරු භාරයේ තිබී ජංගම දුරකථන 08 ක් සොයා ගත්තා. ඒවායේ දත්ත මකා තිබුණා. පසුව එම දත්ත ප්‍රති උත්පාදනය කර ගත්තා. එම ජංගම දුරකථන වල තිබී දුරකථන ඇමතුම් 8841 ක් පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. චායාරූප 326671 ක් අනාවරණය කර ගත්තා. දුරකථන පටිගත කිරීම් 1101 ක් සොයා ගත්තා. වීඩියෝ දර්ශන 5039 ක් හමුවී තිබෙනවා. " යනුවෙන් සඳහන් කළා.

වැඩි දුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් " ස්වාමීනි...එම ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඒ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැනුවත් කළා. ඔහුගේ දුරකථන වල තිබී බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ  දුරකථන අංක හමූවී තිබෙනවා. ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා දැනුවත් කළා. නිළියන් සහ නිරූපන ශිල්පීනියන් 07 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වුණා.  දේශපාලකයින්  09 දෙනෙකු පිළිබඳ චායාරූප සහ දුරකථන සංවාද හමුවී තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා" යනුවෙන් සඳහන් කළා.

වැඩි දුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් " මෙම සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී සොයා ගත් චායාරූප අතර විවිධ අපරාධ ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 19 ක චායාරූප හමුවී තිබෙනවා. ඊට අමතරව බැංකු ගිණුම් 17 ක් ගැන විමර්ශන කරනවා. මෙම සැකකරු 2021 මැයි මස 21 වනදා සිට නීත්‍යානුකූල විදශ ගමන් බලපත්‍රයෙන් විද්ශ ගත වී තිබෙනවා. මොහු ඩුබායි, ජපානය, ඉන්දුනීසියාව, රුසියාව, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, ලාඕසය ඇතුළු රටවල් 13 කට අවස්ථා 15 කදී පමණ ගොස් තිබෙනවා. මෑතකදී ගිනි අවි සොයා ගැනීම් සම්බන්ධයෙන් ද මෙම සැකකරු ගැන විමර්ශනය කරනවා" ඒ අනුව අදාළ සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැලිසර බන්ධනාගාරය තුළ මෙම සැකකරුගේ විරුද්ධ වාදීන් සිටින බැවින් මෙම සැකකරු වැලිසර හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයක රදවා තැබීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

එහිදී සැකකරු වඩාත් ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක රදවා තැබීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා..

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ලබන 04 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින වෙනත් නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළා.

එමෙන්ම ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කළ නිලංග සම්පත් සිල්වා නොහොත් පානදුර නිලංග නමැත්තා ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එම සැකකරු ද ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අධිකරණය නියම කළා.