KOල්Leක් ගැන තරින්දිට මුලින්ම කිව්වේ දිදුල ලු!ඩ්‍රාමා, රොමෑන්ස්, කොමර්ෂල් කැටගරියේ චිත්‍රපටයක් – අධ්‍යක්‍ෂ ඉසුරුමේක පවුලේ කතාවක් – හේමාල් කොල්ලො ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. කොල්ලො සෙට් එකක් සෙට් වුණාහම වෙන දේ දන්නවානේ. අන්තිමේ කොල්ලො කරන වැඩ හින්දා බැණුම් අහන්න වෙන්න…

KOල්Leක් ගැන තරින්දිට මුලින්ම කිව්වේ දිදුල ලු!ඩ්‍රාමා, රොමෑන්ස්, කොමර්ෂල් කැටගරියේ චිත්‍රපටයක් – අධ්‍යක්‍ෂ ඉසුරුමේක පවුලේ කතාවක් – හේමාල්

කොල්ලො ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. කොල්ලො සෙට් එකක් සෙට් වුණාහම වෙන දේ දන්නවානේ. අන්තිමේ කොල්ලො කරන වැඩ හින්දා බැණුම් අහන්න වෙන්නෙත් දෙමාපියන්ටනේ. හැබැයි අද අපි මේ කියන්න හදන්නේ එහෙම කොල්ලෙක් ගැන නම් නෙමෙයි.හෙට අනිද්දාට සිනමාවට එන්න ට්‍රයි කරන KOල්Leක් ගැනයි. මේ KOල්Leක් ගේ කතාව සංකල්පය මුලින්ම හිතට ඇවිත් තියෙන්නේ ලංකාවේ මේ දවස්වල ජනප්‍රිය නළුවෙක් වගේම තිරපිටපත් රචකයෙක් වුණු දිදුල ඉඳුවර ට.

තමන්ගේ සොහොයුරා අහිමිවීමත් සමගම පවුලේ වගකීම් තමන්ගේ උරමතට ගත්ත වැඩිමහල් සොහොයුරාගේ ජීවිතය වටා ගෙතුණ, පවුල සහ සබඳතා අතර සමබරතාවය සොයායන නවතම සිනමා නිර්මාණයක් ලෙස KOල්Leක් හැඳින්වීමට හැකිය.

ශ්‍රී ලාංකීය සිනමාවට නව අත්දැකීමක් එක් කරමින් ෆැමිලි ඩ්‍රාමා ශානරයට අයත් නවතම චිත්‍රපටයක් ලෙස KOල්Leක් මේ දිනවල නිෂ්පාදනය වෙමින් පවතී.

මෙහි ප්‍රධාන චරිතයට ජනප්‍රිය රංගන ශිල්පි හේමාල් රණසිංහ පණ පොවන අතර තරින්දි ප්‍රනාන්දු, සිතාරා පුංචිහේවා, යසස් නිවුන්හැල්ල, ශ්‍යාම් ප්‍රනාන්දු, සේමිණි ඉද්දමල්ගොඩ, සංගීතා තදානි, චන්දන වික්‍රමසිංහ වගේම ආරාධිත රංගනයෙන් සනත් ගුණතිලක, උමාලි තිලකරත්න, මල්කාන්ති ජයසිංහ සහ නිරංජනී ශන්මුගරාජා ඇතුළු ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන් රැසක් දායකත්වය සපයති.

KOල්Leක් සිනමාවට තිළිණ කරන්න සූදානම් වෙන්නේ ලංකාවේ තරුණ අධ්‍යක්ෂවරයකු වන ඉසුරු ගුණතිලක වන අතර සංකල්පය හා තිර රචනය දිදුල ඉඳුවරගෙනි. කැමරා අධ්‍යක්ෂණයෙන් මධුනි අලහකෝන් දායක වන අතර සංගීත අධ්‍යක්ෂණය තිළිණ බොරලැස්ස විසින් සිදු කරයි. ඒ වගේම ගීත ගායනයෙන් කාංචනා අනුරාධි, සුපුන් පෙරේරා සහ රිද්ම වීරවර්ධන දායක වන අතර කලා අධ්‍යක්ෂවරයා ලෙස චරිත් වික්‍රමතිලක ද ඇඳුම් නිර්මාණ ශිල්පියා ලෙස සවන් පවිත්‍ර ද කොණ්ඩා සැකසුමෙන් හරූන් ශයිමින් ද කටයුතු කරති.

KOල්Leක් හි විධායක නිෂ්පාදකවරයා ලෙස සුජීව නිවුන්හැල්ල කටයුතු කරන අතර මෙහි නිෂ්පාදනය Luxuriate Productions ආයතනය විසින් සිදුකරනු ලබයි.

ළඟදීම හෝල්වලට එන්න සූදානම් වෙන ‘KOල්Leක්’ හි රූගත කිරීම් මේ දිනවල ලහි ලහියේ පිළියන්දල, මඩපාත වලව්වේ සිදුවෙනවා. කොළඹට නුදුරින් පිහිටි පිළියන්දල, මඩපාත වලව්වේ හැදීවැඩෙන ‘KOල්Leක්’ හි රූගැන්වීම් අත්දැකීම් විඳගන්න ඔන්න අපිටත් පුංචි ආරාධනාවක් ලැබුණා, මෙහි මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් නිශාන්තගෙන්. චිත්‍රපටයක ෂූටින් බලන්න යන එකත් වෙනස්ම අත්දැකීමක් හින්දා අපිත් මේ ගමනට එකතු වුණා.

පලින් බරවුණු විරාජමානව වැජඹෙන ගාම්භීර වලව්වක් මැදට අපි ඇතුළු වුණෙමු. අප එහි යන විටත් සරුසාර ගෙවත්තේ ඉදිරි පස රූගත කිරීම් ඇරඹී තිබිණි. ගාම්භීර වලව්වේ ඉදිරිපස ශ්‍යාම් සහ සේමිණී ය. ඒ අසලින්ම කැමරා අධ්‍යක්ෂවරිය සහ ඇයගේ පිරිවර කැමරාව සූදානම් කරමින් සිටී.

කැමරා… ඇක්ෂන්…

එහෙන් මෙහෙන් ඇසුණු කසුකුසුව නැවතී සියල්ලෝම නිහඬ විය. දර්ශනයකට සූදානම් වන වග අපට ද හැඟිණි.

ඔය අතරේ තරින්දි සහ හේමාල් ගේ ඊළඟ දර්ශනයට ද සූදානම් වේ. ඔවුන්ට ලද පුංචි විරාමයකදී අපට අවැසි තොරතුරු ලබාගැනීමට අපි උත්සුක වුණෙමු.

මුලින්ම මට KOල්Leක් චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ මෙහි තිරපිටපත් රචක දිදුල ඉඳුවරගෙනි. ඔහු මට මුලින්ම කිව්වා, අක්කේ ලස්සන කතාවක් කියැවෙන වැඩක් තියෙනවා… සම්බන්ධ වෙමු කියලා.

ඉතිං මම දිදුලත් එක්ක මීට කලින් වැඩ කරල තියෙනවා. ඊට පස්සේ මම පිටපත කියෙව්වාට පසුව මේ කතාව තවදුරටත් පැහැදිලි කළා අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලක. ඔහුගේ පැහැදිලි කිරීමත් එක්ක මට තේරුණා ඉසුරු කියන්නේ නිකම්ම නිකම් පුද්ගලයෙක් නෙමෙයි, හරිම යාවත්කාලීන අධ්‍යක්ෂවරයෙක් කියලා. ඉතිං මම හරිම ආසාවෙන් KOල්Leක් ටීම් එකත් එක්ක සම්බන්ධ වුණා. දැන් අපි මේ ඉන්නේ KOල්Leක් ප්‍රධාන දර්ශන තලයේ. මම මෙහි මධුනි කියන කැමරා අධ්‍යක්ෂවරියත් සමගත් වැඩ කරන්නේ පළමු වැනි වතාවට. ඇයටත් හොඳ දක්ෂතාවයක් තියෙනවා යැයි තිරපිටපත් රචකයාගෙන් ලද ආරාධනාවෙන් KOල්Leක් හි දර්ශන තලයට ගොඩවැදුණු තරින්දි පැවසුවේ එවැන්නකි.

ප්‍රධාන භූමිකාවෙන් එක්වන හේමාල් රණසිංහට KOල්Leක් ගැන තිබුණේ මෙවැනි අදහසකි.

මේ වගේ තිරපිටපතක් තෝරා ගැනීම නිසාම මට අධ්‍යක්ෂවරයා ගැන විශ්වාසයක් ඇති වුණා. මේක පවුලේ කතාවක්. කාලයක් තිස්සේ මට ලැබෙන්නේ පවුලේ කතා වුණාට මේ පිටපතේ මම වෙනසක් දැක්කා. මට යමක් කරන්න තියෙනවා කියලත් දැක්කා. ඒ නිසාම භාරගත්තා. මාස පහක පුංචි දරුවෙක් එක්ක ලබපු පළමු අත්දැකීම ලොකු අභියෝගයක් වුණා.

KOල්Leක් සිනමාපටය සජීවී රූගත කිරීමක් නිසා නැවත හඬකැවීමක් ද නැත. ඇක්ෂන් – කට් ඇතුළේ කාර්යබහුල වී සිටි අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලක KOල්Leක් ගැන කතා බහ කළේ හරි උජාරුවෙනි. මොකද මේ KOල්Leක් හි ප්‍රධානියා ඉසුරු වීම හේතුවෙනි.

KOල්Leක් මගේ දෙවැනි සිනමා නිර්මාණය. සංකල්පය වගේම තිරරචනයත් රංගන ශිල්පි දිදුල ඉඳුවරගේ.

දිදුල මීට අවුරුද්දකට විතර කලින් තමයි මෙහෙම ප්ලොට් එකක් තියෙනවා කියල මට කිව්වේ. අපි දෙන්නා එකතුවෙලා ඒ ගැන කතාබහ කරලා අන්තිමේ අපි අද කාලෙට උචිත හොඳ තිර පිටපතක් නිර්මාණය කරගත්තා. Luxuriate Productions තමයි මේකේ නිෂ්පාදන කටයුතු භාරගත්තේ. නිමල්, ග්‍රේෂන් සහ ඩොක්ටර් චිත්‍රා මෙහි නිෂ්පාදකවරු විදිහට කටයුතු කරනවා. විධායක නිෂ්පාදක ලෙස සුජීව නිවුන්හැල්ල එකතු වෙනවා. මේක ඩ්‍රාමා, රොමෑන්ස්, කොමර්ෂල් කැටගරියේ චිත්‍රපටයක්. නවීන තාක්ෂණික ක්‍රම යොදාගැනීම් පැත්තෙන් ගත්තොත් අපි වෙනස් වෙන්නේ මේ ප්‍රඩක්ෂන් එක ප්ලෑන් කරගත්ත කාලයත් එක්ක. මධුනි අලහකෝන් කියන ලංකාවේ ඉන්න එකම කැමරා අධ්‍යක්ෂවරිය තමයි මාත් එක්ක මේ වැඩේට එකතු වෙන්නේ. ඇය ඉගෙන ගත්තේ ලන්ඩන්වල. මම ඉගෙන ගත්තේ යුරෝපයේ. ඒ හින්දා KOල්Leක් පිළිවෙළකට හදාගන්න අපිට පුළුවන් වුණා.

අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලකගේ කතාවෙන් පසුව අපිට නිෂ්පාදක කණ්ඩායම සමගත් මේ ගැන අදහස් හුවමාරුවක් සිදු කරගැනීමට අවස්ථාව උදාවුණා.

වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන නිමල් ප්‍රසන්න, කලාවට ගොඩාක් ආදරය කරන නිසාමයි නිෂ්පාදකවරයෙක් විදිහට මම මේ චිත්‍රපටයට එකතු වුණේ. පිටරටක ජීවත් වුණත් මම මේ රටේ ප්‍රගතිය දකින්න කැමති කෙනෙක්. මේක හොඳ නිර්මාණයක් වෙයි කියල විශ්වාසයක් තියෙනවා.

නිෂ්පාදිකාවක් වන ඩොක්ටර් චිත්‍රා දිසානායක, නිමල් තමයි අපිට මේ සඳහා ආරාධනාව සිදු කළේ. එතකොට ඇත්තටම මගේ හිතේ කිසිම අදහසක් තිබුණේ නැහැ චිත්‍රපටයකට මුදල් ආයෝජනයක් සිදු කරන්න. අන්තිමේ මෙහි විධායක නිෂ්පාදක සුජීව අපිට අධ්‍යක්ෂවරයා වන ඉසුරුව සම්බන්ධ කළා. KOල්Leක් පිටපත ගැන දැනගත්තාට පසුව අපිට ආසා හිතුණා ඒ වැඩේට සම්බන්ධ වෙන්න. මේක සමාජයට හොඳ පණිවුඩයක් ලබාදෙන චිත්‍රපටයක්.

KOල්Leක් විධායක නිෂ්පාදකවරයා සුජීව නිවුන්හැල්ල,

මට මේ යෝජනාව මුලින්ම අරගෙන ආවේ අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලක හා කැමරා අධ්‍යක්ෂවරිය වන මධුනි අලහකෝන්. අන්තිමේ අපි මේ පිටපත බැලුවහම වෙනම කතාවක්. තරුණ අධ්‍යක්ෂවරයෙක් විදිහට ඉසුරු මෙහි කටයුතු ඉතාම හොඳින් සිදු කරගෙන යනවා. අපිට ඉන්නේ ඉතාම හොඳ උගත් තරුණ කණ්ඩායමක්. මේක මගේ දෙවැනි සිනමා නිර්මාණය. මම මීට කලින් ජයන්ත චන්ද්‍රසිරි නමැති ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ රිටිගල ජයසේන සහ සැඟවුණු නගරය රූගත කිරීම් සිදු කළේ එංගලන්තයේ. අපි ඒ වෙලාවෙත් උසස්ම තාක්ෂණය යොදාගත්තා. ලංකාවෙත් KOල්Leක් චිත්‍රපටයටත් ඒ වගේම තාක්ෂණය අපි යොදා ගත්තා.

නවීන තාක්ෂණික ක්‍රම උපයෝගි කරගනිමින් රූගැන්වෙන KOල්Leක් සිනමා නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂවරිය කාන්තාවක් වීම ද සුවිශේෂී කාරණාවක්. දැවැන්ත කැමරා උපකරණයක නැඟ ඊළඟ දර්ශන තලයට සූදානම් වෙන අතරේ මධුනි අලහකෝන් වෙතට පිවිසුණේ KOල්Leක් ගැන ඇගේ අත්දැකීම් ගොන්නක් මේ කතාවට එකතු කර ගැනීමේ අදහසිනි.

KOල්Leක් චිත්‍රපටයේ රූගත කිරීම් මේ වෙන කොට සාර්ථකව සිදු කෙරීගෙන යනවා. විශේෂයෙන් අපිට මේ නිර්මාණයට ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසක් ඉන්නවා. ඔවුන්ගෙන් මට ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. අධ්‍යක්ෂවරයා සහ සියලුම නිෂ්පාදක අංශවලින් ලැබෙන සහයෝගය හින්දා ඉතාමත් හොඳට වැඩේ කෙරීගෙන යනවා.

KOල්Leක් හි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන හේමාල්ගේ පියාගේ චරිතයට රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍යාම් ප්‍රනාන්දු ය.

“මම ප්‍රධාන භූමිකාවේ තාත්තා, ඒ කියන්නේ ජයකොඩි පවුලේ සිදුවන එක්තරා ඛේදවාචකයක් නිසා මේ පවුලේ සිදුවන බිඳවැටීම් වෙනස්වීම් එක්ක ජයකොඩිගේ චරිතයත් වෙනස්වීම්වලට භාජනය වෙනවා.

මම මේකට සම්බන්ධ වුණේ අධ්‍යක්ෂවරයා ගැන තියෙන විශ්වාසය නිසයි. අලුත් අධ්‍යක්ෂවරු සිනමාව ගැන අදහසක් හැදෑරීමක් ඇතිවයි ඇවිත් තියෙන්නේ. ඒ වගේ අයත් එක්ක වැඩ කරන්න තියෙන කැමැත්ත නිසාමයි මම මේ වැඩේ භාරගත්තේ.

ශ්‍යාම් ගේ අදහසට සමාන අදහසක් එකතු කරමින් සේමිණි ඉද්දමල්ගොඩත් අපේ කතාබහට එකතු වුණා.

KOල්Leක් ඉසුරුගේ දෙවැනි චිත්‍රපටය. අලුත් අධ්‍යක්ෂවරු තාක්ෂණයත් එක්ක යාවත්කාලීන හින්දා මාත් හරි කැමැතියි ඔවුන් එක්ක වැඩ කරන්න.

මට, මේ නිර්මාණය භාර ගන්න අධ්‍යක්ෂවරයා සහ පිටපත කියන දෙකම හේතු වුණා. අද මේ රූගත කෙරෙන හත්වැනි දවස. හරිම සහයෝගයෙන් වැඩ කරන ආදරණීය කණ්ඩායමක් එක්කයි වැඩ කරන්නේ. KOල්Leක් හරි ලස්සන වැඩක් වේවි කියලා හිතනවා.

අපිත් එහෙම හිතාගෙනම දර්ශන තලයෙන් එළියට ආවේ මඩපාත වලව්වේ හැදීවැඩෙන ‘KOල්Leක්’ හෝල් එකක් ඇතුළේ නුදුරේදීම නැරඹීමේ අටියෙනි.

දිනේෂ් විතානඡායාරූප – උපුල් නිශාන්ත