ශ්‍රී ලංකා නියෝජිතයෝ රූබන් සහ ප්‍රියන්කර කොළඹ වරායේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 1000 කට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ගෙනඒම පිටුපස පාකිස්තානු ජාතික මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් පිරිසක් සිටින බව විමර්ශනවල…

ශ්‍රී ලංකා නියෝජිතයෝ රූබන් සහ ප්‍රියන්කර

කොළඹ වරායේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 1000 කට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ගෙනඒම පිටුපස පාකිස්තානු ජාතික මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් පිරිසක් සිටින බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාකිස්තානු ජාතික ජාවාරම්කරුවන් තිදෙනකු කොළඹ සුපිරි හෝටලයක සැඟවී සිටියදී මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය සහ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් පෙරේදා (31 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ජාවාරම් කල්ලියේ ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් ලෙස කටයුතු කර ඇත්තේ රූබන් සහ ප්‍රියන්කර නමැති මහා පරිමාණ ජාවාරම්කරුවන් දෙදෙනා ය. ඔවුන් දෙදෙනා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙම ජාවාරම් මෙහෙයවන බව ද මේ වනවිට අනාවරණය වී ඇත.

පරෙවි සුදා, වැල්ලේ සාරංග ඇතුළු මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කීපදෙනකුම මත්ද්‍රව්‍ය මිලදී ගත්තේ රූබන් සහ ප්‍රියන්කර නමැති මහා පරිමාණ ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් බව ද අනාවරණය වී තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ලැබුණු තොරතුරකට අනුව මාසයකට ආසන්න කාලයක් තිස්සේ සිදු කරන ලද විමර්ශනයකින් පසු කොළඹ වරායට රැගෙන ආ මෙම කන්ටේනර් 2 තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 475 ක් සොයා ගැනීමට හැකි විය.

මෙම මත්ද්‍රව්‍ය තොග ප්‍රතිඅපනයනය සඳහා රැගෙන ආ බවට ඒත්තුගන්වා රේගුව සහ විමර්ශන නිලධාරීන් නොමඟ යවා වරායෙන් පිට කිරීමට ජාවාරම්කරුවන් සැලසුම් කරගෙන සිටි බව ද මේ වනවිට හෙළි වී ඇත.

කෙසේ වෙතත් මෙම මහා පරිමාණ ජාවාරමට සමබන්ධ තවත් පිරිසක් අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.හේමන්ත රන්දුණු සහ නෝමන් පලිහවඩන