මේ කතාව මට හරි ළඟයි පසුගිය කාලයේ ඇයව අපට මුණගැසුණේ වාලම්පුරි සිනමා නිර්මාණයෙන් දිල්ෂාර ජයමාන්න අධ්‍යක්‍ෂණය කළ රසික ජිනසේන නිෂ්පාදනය කළ “ක්‍රිකට් සාදු” සිනමා නිර්මාණයෙන් ද ඇයව අපට මේ දිනවල මුණගැසෙනවා. කාලෙන් කාලෙට වෙනස්ම සිනමා නිර්මාණවලින් ඔබ හමුවට එන ඇය නමින් උදයන්ති කුලතුංග. ඇය…
මේ කතාව මට හරි ළඟයි
පසුගිය කාලයේ ඇයව අපට මුණගැසුණේ වාලම්පුරි සිනමා නිර්මාණයෙන් දිල්ෂාර ජයමාන්න අධ්‍යක්‍ෂණය කළ රසික ජිනසේන නිෂ්පාදනය කළ “ක්‍රිකට් සාදු” සිනමා නිර්මාණයෙන් ද ඇයව අපට මේ දිනවල මුණගැසෙනවා. කාලෙන් කාලෙට වෙනස්ම සිනමා නිර්මාණවලින් ඔබ හමුවට එන ඇය නමින් උදයන්ති කුලතුංග. ඇයත් සමග මේ කතාබහ ක්‍රිකට් සාදු ගැනයි.
උදයන්ති ක්‍රිකට් සාදු චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ කොහොමද?
ක්‍රිකට් සාදු අධ්‍යක්‍ෂක දිල්ෂාර සහ නිෂ්පාදක රසික හරහා තමයි මට මේ ආරාධනාව ලැබුණේ. මේ චරිතය සඳහා කිහිපදෙනෙක්ම යෝජනා වෙලා තිබුණත් අවසානයේ මට මේ සඳහා ආරාධනාව ලැබුණා.
මේක ටිකක් වෙනස්ම කතා තේමාවක්. මේ වගේ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණහම මොකද හිතුණේ?
නළු, නිළියකට චිත්‍රපටයක රඟපාන්න ලැබෙනවා කියන්නේ පුදුම අවස්ථාවක්නේ. පිටපත කියවලා බලන කොට හරිම ආදරණීය මවකගේ චරිතයක් තමයි මට තිබුණේ. මොකද දැන් මමත් අම්මා කෙනෙක්. ඒක හින්දා මම හරි ආසාවෙන් මේ චරිතය භාර ගත්තා.
අම්මා කෙනෙක් විදිහට ‘ක්‍රිකට් සාදු’ චිත්‍රපටය ගැන දැනුන හැඟීම මොන වගේද?
ඇත්තටම අම්මා කෙනෙක් වුණහම තමයි ඒක ඇත්තටම තේරෙන්නේ. අම්මලාට ජීවිතයෙන් භාගයක්ම ඔවුන්ගේ ලෝකය වෙන්නේ දරුවොනේ. දරුවන්ගේ හීන වෙනුවෙන්නේ අපි දැන් මහන්සි වෙන්නේ. අනික ලංකාවේ සංස්කෘතිය අනුව පවුල මූලික කරගත් සමාජයක් තියෙන්නේ. මේ කතාව මට හරි ළඟයි. ලංකාව ගැන ලෝකය දැන ගත්තෙත් ක්‍රිකට් එක්කනේ. මගේ දරුවත් කවදාහරි දවසක ක්‍රිකටර් කෙනෙක් වෙනවා නම් මම ආසයි. ලස්සන වැඩක්.
‘ක්‍රිකට් සාදු’ මාධ්‍ය දර්ශනයේදී ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?
‘ක්‍රිකට් සාදු’ බලද්දී ඇත්තටම මට ඇඬුණා. මටත් හිතාගන්න බැහැ මම ටිකක් වටපිට බලන කොට හැමෝගෙම ඇස්වල කඳුළු. චිත්‍රපටය රඟපාන අවස්ථාවේදී ආපු හැඟීමම ෆිල්ම් හෝල් එකේ ඉඳල බලද්දී ආවා. ලොකු ස්ක්‍රීන් එකේ දකිද්දී මම නෙමෙයි වගේ තමයි දැනුණේ. ඒ දරුවගෙයි අම්මාගෙයි තියෙන බැඳීමට හැම කෙනෙකුගේම ඇහැකින් කඳුළක් වැටෙනවා වගේ මම දැක්කා. හැමෝම කිව්වා කාලෙකින් ඔයාව චිත්‍රපටයකින් දැක්කෙ කියලා. අනික මමත් හිතුවේ නැහැ එච්චර ප්‍රතිචාර හම්බවෙයි කියලා.
වාලම්පුරි චිත්‍රපටයෙන් පස්සේ නේද ඔබේ චිත්‍රපටයක් තිරගත වෙන්නේ?
ඔව්. ඔව්. මම අන්තිමට රඟපෑවේ වාලම්පුරි චිත්‍රපටයේ. ඊට පසුව තමයි දිල්ෂාරගේ ‘ක්‍රිකට් සාදු’ චිත්‍රපටයට මට ආරාධනාවක් ලැබෙන්නේ. ඇත්තටම ටික කාලයකට පසුව තමයි චිත්‍රපටයක් තිරගත වෙන්නේ.
නිහඬව හිටපු කාලය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මම නිහඬව හිටියේ විවාහ වෙලා මට දරුවෙක් ලැබුණ හින්දා. මොකද දරුවා පුංචි හින්දා එයාට මූලිකත්වය දෙන්න ඕනෑ. දැන් නම් බබාට අවුරුදු හතරයි. බබාට අවුරුදු තුනහමාරක් වෙනකම් මම වැඩ කළේ නැහැ. ක්‍රිකට් සාදු එක්ක ආපහු කට්ටියට මාව මතක් වෙලා තියෙනවා. දැන් මට චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා හරිම සතුටුයි. ක්‍රිකට් සාදු එක්ක තමයි මට හැමදේම හම්බ වුණේ.
ක්‍රිකට් සාදු උදයන්තිගේ සිනමා ගමන අලුත් කළාද?
ඔව්. ඇත්තටම මට එහෙම හිතෙනවා. ක්‍රිකට් සාදු මට ලැබුණු ලොකු තෑග්ගක් වගේ. දැන් ඉස්සරහට වඩා දක්‍ෂ නළු නිළියෝ ගොඩාක් ඉන්නවා. ඒ අතරතුරේ මට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් නිෂ්පාදක කණ්ඩායමට සහ අධ්‍යක්‍ෂවරයාට ස්තුතිවන්ත වෙනවා.
වාලම්පුරි චිත්‍රපටය මතක් වෙනකොට මොකද හිතෙන්නේ?
වාලම්පුරි චිත්‍රපටයටත් මම හරි ආසයි. දක්‍ෂ ඒ වගේම ප්‍රතිභාපූර්ණ නළු නිළියෝ ටිකක් එක්ක තමයි ඒකේ රඟපාන්න මට හම්බවුණේ.
වාලම්පුරි නිර්මාණයට ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?
මට ලොකුම ප්‍රතිචාරය ලැබුණේ මහේන්ද්‍ර පෙරේරා අයියගෙන්. මට මහේන්ද්‍ර පෙරේරා අයියා එක්ක රඟපාන්න අවස්ථාව හම්බ වෙලා නැහැ. ඔහු මට කිව්වා “යකෝ දක්‍ෂ කෙල්ලෙක්නේ, හොඳට රඟපාල තියෙනවා” කියලත් කිව්වා.
පසුගිය කාලයේ වෙනස්ම චිත්‍රපට ටිකකට ආරාධනා ලැබුණා නේද?
සිනමා නිර්මාණයක පුංචි චරිතයක් ලැබුණත් මම ඒකට හරි ආසයි. ඒ චරිතවලට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර වගේම ක්‍ෂේත්‍රයේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර තමයි අපිව ජීවත් කරවන්නේ.
ඔබේ රංගන ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?
දැන් තමයි මට හොඳ නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ කියලා හිතෙනවා. ටෙලි නාට්‍ය නම් රැසක මම රඟපාලා තියෙනවා. ඒ ලැබුණු අත්දැකීම් එක්ක මට හිතෙනවා තරුණ කාලේ රඟපානවාට වඩා පළපුරුද්දත් එක්ක මට යමක් කරන්න පුළුවන් කියලා. ඒ හින්දා දැන් චරිතයක් ලැබුණහම ඒ ගැන දැනෙන ප්‍රමාණය වැඩියි. මම හිතනවා ආපු ගමනත් එක්ක මගේ රඟපෑමේ කටයුතු දැන් වර්ධනය වෙලා කියලා.
ටෙලි නාට්‍ය රංගන වැඩකටයුතු එහෙම කොහොමද?
මේ දවස්වල මම එක ටෙලි නාට්‍යයක වැඩ කරනවා. දරුවත් එක්ක ගෙදර ඉන්න හින්දා ගොඩක් වැඩ භාරගෙන නැහැ. නිවන්ත ප්‍රසාරගේ සිරී ටෙලි නාට්‍යය හිරු නාලිකාවේ විකාශනය වෙනවා. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ක්‍රිකට් සාදු ගැන මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ?
පිරිසක් එකතු වෙලා චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියන්නේ ලොකු දෙයක්. දින සියයක් චිත්‍රපටය දුවනවා නම් කලාකාරිනියක් හැටියට මට තියෙන ලොකුම සතුට ඒක තමයි. අපි කරපු දේ ප්‍රතිඵලයක් හැටියට නිෂ්පාදකතුමාවත් ආරක්‍ෂා වෙලා ඔහුට තව චිත්‍රපටයක් කරන්න ජවය ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ක්‍රිකට් සාදු ලස්සන නිර්මාණයක්. ඒක හැමෝම බැලුවොත් හොඳයි කියලා හිතෙනවා.
දිනේෂ් විතාන












