මුලතිව්, ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් කුරුන්දි රජමහා විහාරාධිපති පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි නායක ස්වාමීන් වහන්සේ සිය නොස…
මුලතිව්, ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් කුරුන්දි රජමහා විහාරාධිපති පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි නායක ස්වාමීන් වහන්සේ සිය නොසතුට සහ කනගාටුව පළ කර තිබේ.
ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව නැවතත් වහාම ලබා දෙන ලෙස උන්වහන්සේ මෙම ලිපිය මගින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
කුරුන්දි විහාර භූමියේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ අවධියේ පටන් වසර ගණනාවක් පුරා පොලිස් නිලධාරීන් එහි ආරක්ෂාව පිණිස රැඳී සිටි බවත්, ඔවුන් විහාරස්ථානයේ සහ අවට පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව මෙන්ම පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවද තහවුරු කළ බවත් එම ලිපියේ සඳහන් වේ. පසුගිය කාලයේ පුරාවිද්‍යා රක්ෂිත භූමියට අනවසරයෙන් ඇතුළු වී හානි කිරීමට උත්සාහ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් එම හානි වැළැක්වීමට පොලිසිය කටයුතු කළ ආකාරය උන්වහන්සේ මෙම ලිපිය මගින් පැහැදිලි කර තිබේ.
එවන් වැදගත් ආරක්ෂක කාර්යයක් ඉටුකළ පොලිස් නිලධාරීන් මෙම ස්ථානයෙන් ඉවත් කිරීම හේතුවෙන් විහාරස්ථානය, පුරාවිද්‍යා රක්ෂිතය සහ ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව දැඩි අවදානමකට ලක්ව ඇති බව උන්වහන්සේ සඳහන් කරති.
දැනට එම ස්ථානයේ රැඳී සිටින යුද හමුදා හෝ සිවිල් ආරක්ෂක බළකායේ පිරිසට අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට නීතිමය බලයක් නොමැති අතර, විටින් විට පැමිණෙන අන්තවාදී කණ්ඩායම් උද්ඝෝෂණය කිරීම් සහ නීති විරෝධී ක්‍රියා වැළැක්වීමේ සිවිල් ආරක්ෂක බලය පැවතෙන්නේ පොලිස් නිලධාරීන්ට පමණක් බවද විහාරාධිපති හිමියෝ අවධාරණය කරති.චතුර පමුණුව

