පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වන හෙට (29 දා) සිට මිහින්තලා පෙදෙස නිර්මාංශ කලාපයක් බවට පත්කොට තිබේ. මිහින්තලා භූමිය ලොව ප්‍රථම සත්ව අභයභූමිය බැවින් ඇමෙරිකාවේ සමාජ පරිසර පදනමේ නිර්මාතෘ ආචාර්ය ආනන්ද මාහිංකන්ද මහතාගේ ඉල්ලීමක් මත, අනුරාධපුර රාජ්‍ය පොසොන් කමිටුව විසින් මෙම පියවර ගෙන ත…

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වන හෙට (29 දා) සිට මිහින්තලා පෙදෙස නිර්මාංශ කලාපයක් බවට පත්කොට තිබේ.

මිහින්තලා භූමිය ලොව ප්‍රථම සත්ව අභයභූමිය බැවින් ඇමෙරිකාවේ සමාජ පරිසර පදනමේ නිර්මාතෘ ආචාර්ය ආනන්ද මාහිංකන්ද මහතාගේ ඉල්ලීමක් මත, අනුරාධපුර රාජ්‍ය පොසොන් කමිටුව විසින් මෙම පියවර ගෙන තිබේ.

මෙම කමිටුවේ සභාපතිත්වය උසුලන්නේ අනුරාධපුර දිසාපතිවරයාය. මිහින්තලේ විහාරාධිපති වලවාහැංඟුනවැවේ ධම්මරතන නාහිමියෝ ද රුවන්වැලිසෑ විහාරාධිපති ඊතල වැටුණුවැවේ ඥානරතන නාහිමියෝද මෙම කාර්යය සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ අනුමැතිය සහ පූර්ණ සහයෝගය ලබා දී තිබේ.

මිහින්තලය පුදබිම සහ අවට ප්‍රදේශය නිර්මාංශ කලාපයක් ලෙස නම් කිරීමට අදාළ පියවර ගෙන ඇත්තේ, බුදු දහම ආරම්භ වූ ස්ථානයක් ලෙස එහි ඇති ඓතිහාසික හා ආගමික වටිනාකම ආරක්ෂා කරමින්, සත්ව හිංසනයෙන් තොර පරිසරයක් පවත්වාගෙන යෑම සඳහාය.

පොසොන් දා සිට මිහින්තලය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන විට නිර්මාංශ වීමේ ක්‍රියාදාමයෙහි වටිනාකම ආනන්ද මාහිංකන්ද මහතා විසින් ප්‍රකාශ කළේ මේ පරිද්දෙනි.

සමාජ පරිසර පදනමේ නිර්මාතෘ ආචාර්ය ආනන්ද මාහිංකන්ද

මිහින්තලය යනු අනුරාධපුර යුගයේ සිටම රජවරුන් විසින් සතුන් ආරක්ෂා කිරීමට පියවර ගත් ලොව ප්‍රථම වනජීවී අභයභූමිය ලෙස සැලකෙන පූජනීය ස්ථානයක්.

මිනිස්සු නිර්මාංශ වීම අත්‍යවශ්‍යයි.

මිනිසා කියන්නේ ශාක භක්‍ෂකයෙක්. මාංශ භක්‍ෂකයෙක් හෝ සර්ව භක්‍ෂකයෙක් නෙවෙයි. මේ තත්ත්වය හොඳින් වටහා ගත්තොත්, මිනිසුන්ට නිරෝගී දිවි පෙවතක් ගත කරන්න පුළුවන්. මේ පණිවිඩය ලංකාවේ සෑම රජමහා විහාරයක් ආශ්‍රිතවම ප්‍රචලිත කරමින් ජනතාව අතරට යැව්වොත් අපිට පුළුවන් ලංකාවේ මිනිස්සු නිරෝගී ජනතාවක් බවට පත්කරන්න. මේ සංකල්පය මගේ හිතේ ජනිත වන්නට ප්‍රබලවම බලපෑවේ සිතුල්පව්ව පූජා භූමිය නිර්මාංශ භූමියක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙනු දැකීමෙනුයි.

“සබ්බ දානං ධම්ම දානං ජිනාතේ”

බුද්ධ වචනය සිත් තුළ තබාගෙන ලංකාවේ සමස්ත මිනිස් සංහතියටම ධර්මය කියන්නේ මුලින්ම නිර්මාංශ වීම කියන එක මෛත්‍රී සිතින් කියා දීමයි මගේ අදහස.

නිර්මාංශ වීමට මිනිසුන් යොමු විය යුත්තේ අපි ශාක භක්‍ෂක සත්ව පිරිසක් නිසයි. මිනිස් සිරුර සැකසී තියෙන්නේම ශාක ආහාර අනුභවයට ජීර්ණයට සහ පැවැත්මටයි.

මිනිසාගේ මුඛයේ දත් පිහිටා තිබෙන්නේ සියලුම ආහාර ඇඹරීමටයි. ඉරා දැමීමට නෙවෙයි.

ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණය ආරම්භ වෙන්නේත් මුඛයෙන්. එතැන් සිට විවිධ එන්සයිම එකතු වෙමින්, ආහාරවල පෝෂක කොටස් සිරුරට උරා ගන්නවා.

කුඩා බඩවැල්, මහ බඩවැල් පිහිටා තිබෙන්නේ ඉතා දීර්ඝ වශයෙන්. මොකද ලබා ගන්නා ආහාරවල ගුණාත්මකභාවය සිරුරට උරා ගැනීමේ ක්‍රියාවලිය පහසු කරවීමට.

මාංශ භක්‍ෂකයකුගේ ආහාර ශරීරගත කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වන්නේ කඩිනමින්. ඔවුන් ඉරා ගන්නා ආහාර ගිල දමනවා. ජීරණ පද්ධතියේ බඩවැල් ඉතා කෙටියි. මාංශ භක්‍ෂක සත්වයන් ගොදුරක් ඩැහැගෙනයි ආහාරයට ගන්නේ.

මේ වෙනස හරිහැටි අවබෝධ කරගත්තොත් අපට පුළුවන් අපේ ජීවිතයේ පැවැත්ම සෞඛ්‍ය ආරක්ෂිත ලෙස පවත්වාගෙන යෑමට. කෙටියෙන්ම කිව්වොත් රෝගීන් නොවී ජීවත් වෙන්න පුළුවන් වෙනවා.

දිසාපතිවරයා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු

නිරෝගී දිවි පෙවෙතක් පවත්වාගෙන යෑමට නිර්මාංශ වීම හොඳ මාර්ගයක්.

මේ තත්ත්වය මිනිස්සුන්ට කියා දකින්න පුළුවන් වන හොඳම මාර්ගය පොසොන් පුර පසළොස්වක් පොහොය දිනයයි. මොකද ලංකාවට ඉස්සෙල්ලාම බුද්ධාගම ගෙනාව දවස වගේම, සත්ව හිංසනය පිටුදකින්න මාර්ගය පෙන්නපු දවසත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.

මිනිසා යහපත් සාමාන්‍ය සරල දිවි පෙවතක් ගත කරන්න පසුබිම හදාගන්න නම් තමන්ගේ ආහාර රටාව බෙහෙවින්ම ඉවහල් වෙනවා. මිහින්තලේ පුද බිමෙන් අපි එය ආරම්භ කරමු කියා මම ඉල්ලා සිටිනවා.

සමන්තී වීරසේකර