ලොව පුරා පවතින කාලගුණික විපර්යාස හමුවේ, ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය ඉතිහාසයේ ජූලි මාසයක වාර්තා වූ ඉහළම අගයට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. යුරෝපා සංගමයේ කොපර්නිකස් කාලගුණ විපර්යාස සේවාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, පැසිෆික් සාගරයේ වර්ධනය වන ‘එල් නිනෝ‘ තත්…
ලොව පුරා පවතින කාලගුණික විපර්යාස හමුවේ, ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය ඉතිහාසයේ ජූලි මාසයක වාර්තා වූ ඉහළම අගයට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. යුරෝපා සංගමයේ කොපර්නිකස් කාලගුණ විපර්යාස සේවාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, පැසිෆික් සාගරයේ වර්ධනය වන ‘එල් නිනෝ‘ තත්ත්වය සහ මානව ක්‍රියාකාරකම් නිසා සිදු වන ගෝලීය උණුසුම් වීම මෙසේ සාගර ජලයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. උත්තර සහ දක්ෂිණ ධ්‍රැවීය කලාප හැර ලොව පුරා සාගර මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය මෙම ජූලි මාසයේදී සෙල්සියස් අංශක 20.96 ක් ලෙස සටහන් වුණා. මෙය මීට පෙර 2023 වසරේ ජූලි මාසයේදී වාර්තා වූ සෙල්සියස් අංශක 20.89 ක වාර්තාව අභිබවා යාමක්. එමෙන්ම පසුගිය ජූලි මාසය සටහන් වූයේ කාර්මික යුගයට පෙර පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.47 කින් ඉහළ ගිය, ඉතිහාසයේ දෙවැනි උණුසුම්ම ජූලි මාසය ලෙසටද වාර්තා වී තිබෙනවා. මේ අතර අත්ලාන්තික් වෙරළ තීරයේ සහ බටහිර මධ්‍යධරණී මුහුදේ සාගර උෂ්ණත්වය දැඩි ලෙස ඉහළ යෑම හේතුවෙන් දැඩි සාගරික රශ්මි රළ තත්ත්වයක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ. මෙහි අතුරුඵලයක් ලෙස බටහිර යුරෝපය ඉතිහාසයේ උණුසුම්ම ජූනි සහ ජූලි කාලපරිච්ඡේදයට මුහුණ දුන් අතර, පවතින වියළි කාලගුණය හමුවේ ප්‍රදේශ රැසක පාලනය කරගත නොහැකි ලෙස ලැව්ගිනි පැතිර ගියා.











